ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළදී ශාරීරික හා මානසික පීඩාවන්ට පත්වන්නට සිදුවන බව ඔහුගේ පුතුන් දෙදෙනා කියයි
20 November 2026
ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළදී ශාරීරික හා මානසික පීඩාවන්ට පත්වන්නට සිදුවන බව ඔහුගේ පුතුන් දෙදෙනා කියයි
20 November 2026
බන්ධනාගාරගත කර සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට අඩියාලා බන්ධනාගාරය තුළදී ශාරීරික හා මානසික පීඩාවන්ට පත්වන්නට සිදුවන බව ඔහුගේ පුතුන් දෙදෙනා බලධාරීන්ට චෝදනා කරයි.
ඔහුට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුනහොත් ඔහු අත්අඩංගුවේදීම මියයාමේ අවදානමක් පවතින බවට ද පුතුන් අනතුරු අඟවා තිබේ.
විදෙස් මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී, ඉම්රාන් ඛාන්ගේ පුතුන් වන සුලෙයිමාන් ඊසා ඛාන් සහ කාසිම් ඛාන් සිය පියාගේ පිරිහෙමින් පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් මෙම අදහස් පළ කර ඇත.
පාකිස්තාන PTI පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වන සිය පියා දිනකට පැය 22ත් 23ත් අතර කාලයක් හුදකලා සිරමැදිරියක රඳවා තබා ඇති බවත්, බාහිර පුද්ගල ඇසුරකින් තොරව ස්වාධීන වෛද්‍ය ප්‍රතිකාර පවා ඔහුට අහිමි කර ඇති බවත් එහිදී ඔවුන් චෝදනා කර ඇත.
වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් නුවර ෂිෆා ජාත්‍යන්තර රෝහල වෙත මාරු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු 18 වැනිදා නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවද ඔහුගේ පුතුන් පෙන්වාදෙයි.
තමාට සහ සිය බිරිඳ වන බුෂ්රා බිබී හට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලමින් ඉම්රාන් ඛාන් විසින් පාකිස්තානයේ ඉහළම විනිසුරුවරුන් වෙත විවෘත ලිපියක් මගින් ආයාචනා කර ඇති පසුබිමක මෙම සම්මුඛ සාකච්ඡාව සිදුකර තිබූ බවද විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේවෙතත්, පාකිස්තාන කැබිනට් අමාත්‍ය තාරික් ෆසාල් චෞද්රි, ඉම්රාන් ඛාන්ගේ මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඔහුට නිරන්තර වෛද්‍ය අවධානය යොමු කර ඇති බවය.
වෛද්‍ය පරීක්ෂණ සඳහා අවස්ථා 8 කදී ඉස්ලාමාබාද් නුවර පිහිටි පාකිස්තාන වෛද්‍ය විද්‍යා ආයතනය වෙත ඔහුව රැගෙන ගොස් ඇති බවත් ඔහු අනාවරණය කර ඇත.
එමෙන්ම, ඔහුව හුදකලා සිරමැදිරියක රඳවා තබා ඇති බවට සහ පවුලේ සාමාජිකයන්ට ඔහුව හමුවීමට ඉඩ නොදෙන බවට එල්ල වන චෝදනා ද පාකිස්තාන රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.


