brand logo
logo
බස් එක ඇතුළේ කන පැලෙන්න සින්දු දාලා මගීන් කෑමොර දෙද්දී දරුවා යටකරගෙන බසය ඉදිරියට ගියා

බස් එක ඇතුළේ කන පැලෙන්න සින්දු දාලා මගීන් කෑමොර දෙද්දී දරුවා යටකරගෙන බසය ඉදිරියට ගියා

23 July 2026


නොහික්මුණු රියැදුරන්ගේ අති ධාවනකාරී රිය පැදවීම් හේතුවෙන් අසරණ දරු දැරියන් ඇතුළු මිනිස් ජීවිත රැසක් බිලිගත් අවස්ථාවන් පසුගිය කාලය පුරා වාර්තා විය. ඒ අතරින් ඉතා කනගාටුදායක සිදුවීමක් දික්වැල්ල පොලිස් වසමේ ලුණුකලපුව ප්‍රදේශයෙන් පෙරේදා (21 වැනිදා) අසන්නට ලැබුණේ අකාරුණික බස් රියදුරකුගේගේ නොසැලකිල්ල මත හත් හැවිරිදි මල් කැකුළකට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවීම නිසාය.


අකාරුණික රියැදුරාගේ බස් රථයේ රෝදයට හසුවී තැළී පොඩි වී මිලින වී ගිය මේ දියණිය දික්වැල්ල උතුර මහා විද්‍යාලයේ 02 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ චනුදි සෙනාරා ය.


"අනේ මගේ රත්තරන් සුදු දුව මට බේරගන්න බැරි වුණා. මගේ ඇස් ඉදිරිපිටම බස් ඩ්‍රැයිවර් ලෙසින් ආපු මරුවා මගේ දුව අරගෙන ගියා. මම මේ දුක කොහොම ඉවස ගන්නද දෙවියනේ" - රිය අනතුරින් මියගිය දික්වැල්ලේ චනුදි ශෙනාරාගේ මවවූ මල්ෂා සමාධි එදිරිවීර (26) දුක වාවා ගත නොහැකිව ලතෝනි තබමින් පැවසුවාය.


දික්වැල්ල උතුර මහා විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ චනුදි ශෙනාරා පෙරේදා (21 වැනිදා) උදෑසන පාසල් යාම සඳහා සුදු ඇඳුමින් සැරසී දික්වැල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුකලපුව හන්දියට පැමිණියේ සිය මව හා බාල සොහොයුරාද සමඟය. මඳ වේලාවකින් මාතර දෙස සිට පැමිණි මාතර මිද්දෙණිය බස් රථය ඔවුන් සිටින තැන නැවැත්වූයේ මව බස් රථය නවතන ලෙසට අත පා කරන ලද සංඥාවට අනුවය.


නවතන ලද බස් රථය තුළ මගීන් රැසක් සිටි අතර බස් රථයේ ඇතුළත තිබූ ඝෝසාකාරී සංගීත නාද පිටතට ඇසෙන තරම් විය.


පණ ගන්වා නතර කරනු ලැබූ බස් රථයේ ඉදිරිපස දොරටුවෙන් චනුදි ශෙහාරා ගොඩවද්දී, ඒ පිටුපසින් ඇයගේ මව සහ බාල සොහොයුරා බස් රථයට ගොඩවීමට සූදානම් වූවද ගත වූයේ නිමේෂයකි. සියලු දෙනා බසයට ගොඩවීමට පෙර රියදුරු හදිසියේ බස් රථය ඉදිරියට ධාවනය කරන්නට ක්‍රියා කරනවාත් සමග චනුදිගේ මව බාල සොහොයුරා ඉවතට ඇද ගනිද්දී ක්ෂණයෙන් චනුදි ශෙනාරා බස් රථයෙන් බිමට ඇද වැටුණේ කිසිවෙකුටත් අල්ලා ගත නොහැකි අයුරුණි.


ඒ අතර ඉදිරියට ධාවනය වූ බස් රථයේ පිටුපස රෝදයට ශෙනාරාගේ හිස අසුවී තැළී පොඩිවෙද්දී බස් රථයේ සිටි මගීන් "දරුවෙක් වැටුණා බස් එක නවත්වන්න" යනුවෙන් කෑ මොර දුන්නද එය නොඇසුනාසේ රියැදුරා බසය ඉදිරියට ධාවනය කළේ තවත් මල් කැකුළක් වන් සිඟිති දියණියක් දැයට අහිමි කරමිනි.


දැරිය බස් රථයට යටවද්දී බස් රථයේ සිටි මගීන් බසයේ බඳට පහර දෙමින් නවත්වන ලෙස කෑ මොර දෙද්දී හදිසියේම බස් රථය නවතාලු රියදුරා තමන් අතින් වරදක් වූ බව දුටු සැණින් බසයෙන් බැස කාටත් හොරෙන් බෙලිදෙනිය ගම්මානය හරහා දිව ගියේය.


රියදුරා දිව ගොස් එලෙස ආරක්ෂා වුවද උදෑසන විකසිත වූ මලක් බඳු චනූදි ශෙනාරා බස් රථයේ පසුපස රෝදයට හසු වූ මල් කැකුලක් සේ තැළී පොඩි වී ගොස් තිබුණේ එතැනට එක් රැස්වූ සියල්ලන්ගේ නෙත් කඳුලින් තෙමා දමමිනි.


දික්වැල්ල වැවුරුකන්නල ප්‍රදේශයේ නිවසක චනුදි ශෙනාරා ඇතුළු පවුලේ උදවිය ජීවත් වුව ද මෙම අනතුර සිදුවන්නට පෙර දින රාත්‍රිය ඔවුන් ගතකර තිබුණේ ශෙනාරාගේ මවගේ මහ ගෙදර වූ කෝට්ටගොඩ, ලුණුකලපුව, හීන්ගෙදර නිවසේ ය. ඇය පාසල් යන්නට මව සමග උදේන්ම පිටත් වූයේ තම සීයාගේ එම නිවසේ සිට බැවින් මෙලෙස බස් රථයෙන් පාසලට යන්නට සිදුව තිබිණි.


"අනේ මගේ රත්තරං කෙල්ල සිංදු කියන්න හරිම දක්ෂයි. පසුගිය දවසක සින්දුවක් කියලා එය පටිගත කරගෙන පෝන් එකේ දාගෙනයි හිටියේ. ඒ සින්දුව නැවත අහන්න බැරි විදියට පෝන් එක දූගේ බෑග් එකේ තිබී බස් එකට අහුවෙලා කුඩු වෙලා. අපේ මල්ලිගේ එකම දුව. අනේ හරි ලස්සන කෙල්ල. දුව ගෙදර ඉඳලා උදේ ඉස්කෝලේ ගියේ හරි ආසාවෙන්. ඒත් මාරයෙක් වගේ ඩ්‍රයිවර් කෙනෙක් අපේ කෙල්ල උදුරගෙන ගියා. මේ රියැදුරාට දඬුවමක් දෙන්න ඕන. නැත්නම් තව කීදෙනෙක් මරා දාවිද දන්නේ නෑ" චනුදි ශෙනාරාගේ නැන්දනීය වූ සුමිත්‍රා ඉදිරිවීර හඬා වැටෙමින් පැවසුවාය.


චනුදි දියණියගේ හදිසි වියෝව හේතුවෙන් ලුණුකලපුව ප්‍රදේශයම දුකෙන් ඇළලී තිබූ අතර ඇය ජීවත් වූ නිවස අවට නිවාසවල බතක් නොයිදෙන තරමට නිවැසියන් ශෝකී බරව සිටින අයුරු දක්නට ලැබිණි.


මල් කැකුළක් වන් දියණියගේ හිස සහ මුහුණ තැළී පොඩි වී ගොස් තිබූ හෙයින් මාතර මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඉතා කාරුණික ලෙස ඇයගේ මුහුණ සහ හිස කොටස් යථා තත්ත්වයට සකස්කර දීමට ස්ව කැමැත්තෙන් ම ක්‍රියාකළ බව දියණියගේ නැන්දනිය වූ සුමිත්‍රා ඉදිරිවීර පැවසූවේ වෛද්‍යවරයාට පින් දෙමිනි.


චනුදිට අනතුර වූ බස් රථයේ රියැදුරු දික්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේය. ප්‍රදේශවාසීන් එක හඬින් ඉල්ලා සිටියේ මෙම රියැදුරාගේ නොහික්මුණු ක්‍රියාවට නිසි දඬුවම් දීමට කටයුතු කරන ලෙසයි.

 

More News..