brand logo
logo
"ජ්‍යෙෂ්ඨයන්ගේ සවියෙන් අපි ටෙස්ට් තරගාවලියට සූදානම්" - කුසල් මෙන්ඩිස්

"ජ්‍යෙෂ්ඨයන්ගේ සවියෙන් අපි ටෙස්ට් තරගාවලියට සූදානම්" - කුසල් මෙන්ඩිස්

09 November 2026


පාකිස්තානය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අද (9 වැනිදා) ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා තමන් ඇතුළු කණ්ඩායම මනා සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා නව ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් ඊයේ (8 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය. එහිදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහය වැඩි වශයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පැවැසීය.


මෙහිදී අදහස් දැක්වූ කුසල්, තමන් පාකිස්තානයේ කාලගුණයට සහ තණතිලිවලට හොඳින් හැඩ ගැසී ඇති බවත්, පාකිස්තානයෙන් ලබා දෙන තණතීරුව කුමක් වුවත් තම කණ්ඩායම එයට සූදානම් බව ප්‍රකාශ කර සිටියේය. මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍ය ශ්‍රී ලංකා පිතිකරණ බල ඇණිය ගැන කුසල්ගෙන විමසූ අතර එහිදී ඔහු, "අපිට හොඳ පිතිකරණ බලඇණියක් ඉන්නවා. විශේෂයෙන්ම දිනේශ් චන්දිමාල්, ධනංජය ද සිල්වා සහ මම ඇතුළු ප්‍රවීණ පිතිකරුවො ටිකක් ඉන්නවා. ඒ වගේම අපිට හොඳ පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා. ඔවුනුත් තරග රැසක් ක්‍රීඩා කරල තියෙන අය. ඉතින් ඒ හැමෝගේම සහයෙන් අපිට හොඳ තරගයක් ක්‍රීඩා කරන්න පුළුවන් කියල මම බලාපොරොත්තු වෙනවා." යනුවෙන් පැවැසීය.


මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රාහක කණ්ඩායම අතර ඉස්ලාමාබාද් හි පැවැති තුන්දින පුහුණු තරගය ලකුණු 142ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී පළමුවෙන් පන්දුවට පහර දුහ්න් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 223ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටවූ අතර, පාකිස්තාන පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 181ක් රැස් කර සිටියදී අත්හිටවීය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සියල්ලන් දැවී ලකුණු 181කට සීමා වූ අතර, ජයග්‍රහණය සඳහා ලකුණු 254ක් හඹාගිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රාහක කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 111කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.


තරගය අද මෙරට වේලාවෙන් උදෑසන 10ට රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

 

More News..