brand logo
logo
එගොඩඋයන - පානදුර අතර මෝදර පාලම් දෙකම කඩා වැටීමේ අවදානමක

එගොඩඋයන - පානදුර අතර මෝදර පාලම් දෙකම කඩා වැටීමේ අවදානමක

14 September 2026 | දර්ශාන් කානිල් - මොරටුව


මොරටුව එගොඩඋයන සහ පානදුර අතර පිහිටි මෝදර මෝයකට ආසන්නයේ ඇති දුම්රිය මාර්ගයේ දුම්රිය පාලම සහ මගී පාලම හොඳටම අබලන් වී ඇති හෙයින් එය කඩා වැටීමේ අවදානමක පවතින බව ප්‍රදේශවාසීන් සහ එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වන ධීවරයෝ පවසති.


කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්වා පහළ මාර්ගයත්, බෙලිඅත්තේ සිට කොළඹ කොටුව දෙසට ඇති ඉහළ දුම්රිය මාර්ගයත් පිහිටා ඇති එකම දුම්රිය මාර්ගය මෙය වන අතර මොරටුව සහ පානදුර යා කරන මෙම දුම්රිය ද්විත්ව මාර්ගයේ පාලම් ද්විත්වය මේ වන විට දැඩි අබලන් තත්ත්වයට පත්ව ඇත.


ඉන් පහළ දුම්රිය මාර්ගයේ පාලම වසර 70ක් පමණ පැරණි වන අතර ඉහළ දුම්රිය මාර්ගයේ ඇති පාලම වසර 15ක් - 17ක් අතර වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසීය.


මොරටුවේ සිට පානදුර දක්වා දිවෙන වෙරළබඩ දුම්රිය මාර්ගයේ බොලේගොඩ ගඟ සහ මුහුද එකතුවන මෝයකට පිහිටා ඇත්තේද මෙම ස්‍ථානයේය.


මෝදර ධීවර වරායද මේ ආසන්නයේ පවතින අතර ධීවර ඔරු සහ බෝට්ටු මෙම පාලම් ද්විත්වය පහළින් නිතර ගමන් කරනු දක්නට ලැබේ. 


මෙම දුම්රිය පාලම් ද්විත්වය සහ මගී පාලමෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව ප්‍රදේශවාසීන් සහ ධීවරයන් දැඩි කනස්සල්ලට පත්ව සිටිති. ඒ , එම ද්විත්ව පාලමේ යට ප්‍රදේශ මලකඩ බැඳී , දැඩි ලෙස දිරාපත්ව පවතින හෙයිනි. 


මුහුදු ලවණ නිසාවෙන් පාලමේ කණු සහ යකඩ කොටස් මෙලෙස මල බැඳී ඇති අතර, එහි බෝල්ට් ඇණ ලිහිල් වීම සහ රේල් පීලි යට ඇති ලෑලි දිරාපත් වී ඇති අයුරු දක්නට ලැබේ.

එසේ වුවද මෙම දුම්රිය මාර්ගයේ ගමන් කරන දුම්රියන් අධික වේගයෙන් ගමන් කරන බව ධීවරයන් පවසති. 


ඒ අතර දුම්රිය පාලමේ පදිකයින්ට භාවිතා කිරීමට ඉඩ ඇති මගී පාලම් දෙකක් පැවතියද ඉන් එක් මගී පාලමක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. අනෙක් පාලමද මේ වන විට දැඩි අඹලන් තත්ත්වයේ පවතී. එහි ලෑලි පවා ගැලවී ගොස් ඇති අතර එම පාලමේ ගමන් කළ තිදෙනෙකු එම පාලමෙන් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, පාසල් ළමුන් දෙදෙනෙකුද එයින් ඇද වැටී ප්‍රදේශවාසීන් සහ ධීවරයන් විසින් බේරා ගෙන ඇති බව ධීවරයෙකු පැවසීය. දැනට භාවිතා කරන එම මගී පාලම ඉතා පටු සහ අත්වැට පවා දිරාපත්ව තිබේ.


 එලෙසම රාත්‍රී කාලයේදී ආලෝක පහසුකම් නොමැතිකම සහ වැසි සමයේ එම මගී පාලමේ ලෑලි මත ජලය එකතුවීම හේතුවෙන් පාසල් දරුවන්ට සහ ධීවර ප්‍රජාවට මෙන්ම ප්‍රදේශවාසීන්ට මෙය භාවිතා කිරීමේදී දැඩි අපහසුතාවකට ලක් වේ.


ප්‍රදේශවාසියෙකු වන මොහොමඩ් ෂෆීක් මෙසේ පැවසීය.


" මගී පාලමේ ලෑලි ඔක්කොම දිරාපත් වෙලා අබලන් වෙලා තිබෙන්නේ. ඉස්කෝලේ ළමයින් මේකෙන් යනවා එනවා. සිල්බරන් කොට ඔක්කොම ගැලවී ගැලවී යනවා. සමහර වෙලාවට මිනිස්සු දියට වැටෙනවා. ඒ නිසා මේ පාලම ඉක්මණට අපට හදලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලනවා."


බොලේගොඩ ධීවර සමිතියේ සාමාජික සුළු ධීවරයෙකු වන කැලුම් ලියනාරච්චි මෙසේ කීය. 


"පාලමේ යට හරස් කතිර හොඳටම දිරලා. එක්කෝ අලුතෙන් පාලමක් හදන්න. නැත්නම් මේක හරියාකාරව රෙපෙයාර් කරන්න." 


ධීවරයෙකු වන ප්‍රදීප් කුමාර මෙසේ කීවේය. 


"මෙම පාලම ආසන්නයේ අපි ධීවර රැකියාව කරන්නේ. මෙම පාලමේ දිරච්ච තැන් ගොඩාක් තිබෙනවා. උදේ හවස නිතර කෝච්චි වේගයෙන් යනවා. කෝච්චියක් කොයි වෙලාවේ කඩන් වැටෙයිද දන්නේ නැහැ. විනාශයක් වෙන්න කලින් මොකක්හරි කරලා මේක හදලා දෙන්න. මගී පාලමෙන් පොඩි ළමයි , ඒවගේම වැඩ කරලා ගෙදර යන එන අය ඉන්නවා. පාසල් යන ළමයි පවා මේකෙන් වැටිලා තිබෙනවා. මේ පාලම කෝච්චියක් යන එන විට හොඳටම පැද්දෙනවා. පාලම ගොඩක් අබලන්. කෝච්චි යන එනකොට පාලම යටින් මලකඩ කඩා වැටෙනවා."


ප්‍රදේශවාසී කාන්තාවක් මෙසේද පැවසුවාය.


" ගොඩාක් අය රාජකාරී කරගන්නේ, පානදුරට යන්නේ කරන්නේත් මෙම පාලමෙන්. ලෑලි ගැලවිලා පොඩි ළමයි ගඟට වැටිලා තිබෙනවා. දරුවන්ගේ අනාගතය සඳහා මේක හදලා දෙන්න කියලා අපි ඉල්ලනවා." 


ජාතික ධීවර මහා සම්මේලනයේ කොළඹ දිස්ත්‍රික් ධීවර සංවිධානයේ ලේකම් අසංක ප්‍රනාන්දු මෙසේ පැවසීය. 


" මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය පාලමේ ඇති අබලන් තත්ත්වය සහ මගී පාලමේ අබලන් තත්ත්වය ධීවර සමිති හැටියට ලිඛිතව දැනුම් දී තිබෙනවා. මතට ලොල්වී ඇති පුද්ගලයින් මෙහි යකඩ ගලවාගෙන ගොස් විකුණා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. අපි ජනාධිපතිතුමාගෙන් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ ලොකු විනාශයක් වෙන්න කලින් කඩිනමින් මෙය පිළිසකර කර දෙන ලෙසයි." 


මෙම අදාළ පාලම් ද්විත්වය සහ මගී පාලම කඩිනමින් පිළිසකර නොකළහොත් මෙම දුම්රිය මාර්ගයේ ඉහළ පහළ දුම්රිය ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිටීමේ අවදානමක් පවතින බව ධීවර ප්‍රජාව පවසති.


එමෙන්ම මෙම දුම්රිය මාර්ගයේ විශාල විනාශයක් වීමට ප්‍රථම බලධාරීන් කඩිනමින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.


මෙම දුම්රිය මාර්ගයේ ඇති පාලම් ද්විත්වය සහ මගී පාලමේ අබලන් තත්ත්වය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදු කළ විමසීමේදී නිලධාරියකු පවසා සිටියේ , ධීවර සමිති මගින් ලිඛිත ඉල්ලීමක් ලැබී ඇති බවත් එය කඩිනමින් පිළිසකර කිරීමට අවධානය යොමුව ඇති බවයි.

 

More News..