brand logo
logo
මළ සිරුරු තැන්පත් කිරීමට ඉඩ නැති වීමෙන් නේපාලයේ තවත් අර්බුදයක්

මළ සිරුරු තැන්පත් කිරීමට ඉඩ නැති වීමෙන් නේපාලයේ තවත් අර්බුදයක්

01 September 2026 | නිහාල් පීරිස්

නේපාලයේ ඇති වූ හදිසි මහා ජල ගැල්ම නිසා හටගත් බිහිසුණු ඛේදවාචකය විසින් ඇති කරන ලද තිගැස්ම සහ කම්පනය තවමත් පහව ගොස් නැත. ඊට අදාළ අලුත් තොරතුරු තවදුරටත් මාධ්‍ය හරහා වාර්තා වෙමින් තිබේ.

මෙම සටහන ලියන අවස්ථාව වනවිට පළ වී තිබූ වාර්තාවල සඳහන් වූ ආකාරයට මේ ජල ගැල්ම හේතුවෙන් නේපාලයේ සිදු වූ මරණ සංඛ්‍යාව 900 ඉක්මවා තිබිණි. ඊට අමතරව අතුරුදන් වී ඇති සංඛ්‍යාව 4,200 ඉක්මවා තිබේ. මේ තත්ත්වය තුළ අපේක්ෂා කළ හැක්කේ මරණ සංඛ්‍යාව ඉදිරියේ දී තවදුරටත් විශාල වශයෙන් ඉහළ යා හැකි බව යි.

ටිබෙටයේ ද 16 දෙනකු මියගොස් තවත් 550 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බව වාර්තා විය. මෙම සිද්ධිය හටගත්තේ නේපාල- ටිබෙට් දේශ සීමාව ආසන්නයේ යි.

සිද්ධිය නිසා බලපෑමට ලක්ව ඇති සමස්ත සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න බව රතු කුරුස සංවිධානයේ තොරතුරු උපුටා දක්වමින් මාධ්‍ය සඳහන් කර තිබේ.

පසුගිය අගෝස්තු 26 වැනි දින උදය කාලයේ කඩා වැදුණු මෙම ජල ගැල්ම නිසා ගම්මාන පිටින් ගසාගෙන ගොස් විනාශයට පත් විය.

සඳුදා (31) වනවිටත් අනතුර සම්පූර්ණයෙන් පහව ගොස් තිබුණේ නැත. නැවත ජල ගැලීම් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් වී තිබූ අතර නේපාල බලධාරීන් ඒ ගැන දැඩි අවධානයෙන් සහ සූදානමින් සිටිනු දැක ගන්නට ලැබිණි. එවැනි අනතුරක් ඇතිව තිබුණේ මන්ද යන්න තේරුම් ගැනීම සඳහා මෙම ජල ගැල්ම ඇති වූ ආකාරය ගැන සඳහන් කළ යුතු වේ.

බදාදා ජල ගැල්මට මුලපිරී තිබුණේ නේපාල-ටිබෙට් දේශසීමාවේ පිහිටා ඇති ලංටැන්ග් ලිරුංග් කන්දෙ හි වූ විශාල ග්ලැසියර කොටසක් හදිසියේම බිඳී යාම නිසා ය. මේ හේතුවෙන් හිම, පාෂාණ සහ මඩ අති විශාල ප්‍රමාණයක් කිලෝමීටර ගණනක් ඉහළ සිට පහළ පිහිටි ජලාශයකට කඩා වැටිණි. මේ නිසා ජලාශයේ බැමි බිඳී ගිය අතර එයින් හටගත් මහා ජල කඳ සුනාමියක් සේ පැයට කි.මී. 150 කට අධික වේගයකින් පහළින් වූ ගංගාවල ද ඉවුරු බිඳිමින් ඇදී ගොස් ගම්මාන පිටින් විනාශ කර දැමීය.

කෙසේ හෝ වේවා, කඩා වැටුණු පාෂාණ, හිම ආදිය සිර වී වේලි ආකාරයෙන් ක්‍රියාකිරීම නිසා ඉහළ ප්‍රදේශයේ විල් දෙකක් නිර්මාණය වී තිබිණි. නමුත් මෙම වේලි කිසිදු ශක්තියක් නැති, ඉතා අස්ථාවර ඒවා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒවා කොයි මොහොතක හෝ බිඳී යාමේ ඉඩක් ඇති බවටත්, එසේ වුවහොත් යළිත් ජලගැලීම් ඇති විය හැකි බවටත් අනතුරු ඇඟවීම් නිකුත් විය.

නමුත් මෙම විල්වල ජල මට්ටම ක්‍රමානුකූලව අඩු වෙමින් ඇති බවත්, ඒ නිසා එකවර මහා ජල ගැල්මක් ඇති වීමේ අනතුර තරමක් පහව ගොස් ඇති බවත් සඳහන් වේ.

මේ වනවිට එම ප්‍රදේශයට වරින් වර වර්ෂාව ඇද හැලෙමින් ඇති බව සඳහන් වන අතර මේ නිසා විල්වල ජල මට්ටම නැවත ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව ද සඳහන් ය.

උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට පවා අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී තිබූ බවක් මාධ්‍ය වාර්තා කර තිබිණි.

බලපෑමට ලක් වූ ප්‍රදේශවල මේ වනවිට පාර්ශ්ව රැසක් ක්‍රියාත්මක වෙමින් සිටින අතර ඔවුහු මළ සිරුරු සහ තවමත් ජීවත්ව සිටින්නවුන් සොයා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටිති. වර්ෂාව නිසා යම් හෙයකින් නැවත හදිසි ජලගැල්මක් ඇති වුවහොත් මේ අයගේ ජීවිතවලට පවා හානි සිදුවීමේ අනතුරක් පවතින අතර ඒ ගැන ද විශාල අවධානයක් යොමු වී තිබේ.

මෙම ගලවා ගැනීමේ කණ්ඩායම් දැනටත් බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් සිටිති. ප්‍රදේශය මඩ තට්ටුවලින් සහ විවිධ සුන්බුන්වලින් වැසී ගොස් ඇති නිසාත්, මාර්ග, පාලම් ආදිය කැඩී බිඳී ගොස් ඇති නිසාත් ඇතැම් ස්ථානවලට ළඟා වීමත්, යන්ත්‍රෝපකරණ රැගෙන යාමත් බෙහෙවින් දුෂ්කර වී ඇත.

කාලගුණික තත්ත්වය ද එතරම් යහපත් නොවන අතර වරින් වර ධාරානිපාත වැසි ඇද හැලෙන බව වාර්තා වේ. මේ නිසා ගුවනින් කෙරෙන මෙහෙයුම් ද බෙහෙවින් අනතුරුදායක වී ඇත. මෙම මෙහෙයුම්වල නිරත හෙලිකොප්ටර යානා කිහිප වරක්ම එම කටයුතුවලින් ඉවත් කර ගැනීමට ද සිදු වී තිබිණි.

නේපාල බලධාරීන් මුහුණ දී ඇති තවත් බරපතළ ගැටලුවක් වී ඇත්තේ මළ සිරුරු තැන්පත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් මෘත ශරීරාගාර නොමැති වීමේ ගැටලුවයි.

නේපාලයේ මෘත ශරීරාගාරවල ඉඩකඩ ඇත්තේ මෘත ශරීර 350 ක් වැනි සංඛ්‍යාවකට පමණක් බව වාර්තා වේ.

මෙම තත්ත්වය තුළ සමහර පාවිච්චි නොකරන ගොඩනැගිලි මළ සිරුරු තැන්පත් කිරීම සඳහා භාවිත කර තිබිණි. නමුත් මේවායේ මළ සිරුරු කල් තබා ගත හැකි ශීතකරණ ආදිය නොමැති නිසා පිටතින් අයිස් ගෙනැවිත් ඒ සඳහා යම් උත්සාහයක් දරන ලද බව ද වාර්තා වේ. එහෙත් එය එතරම් සාර්ථක විසඳුමක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම තත්ත්වය තුළ, තවමත් හඳුනාගෙන නැති මළ සිරුරු සමූහ මිනී වලවල භූමදානය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් ය.

බොහෝ මළ සිරුරු බෙහෙවින් විකෘති වී ඇති නිසාත්, අත්පා ආදිය වෙන් වී ඇති නිසාත් ඒවා හඳුනාගැනීමේ කටයුතු අතිශයින් දුෂ්කර වී ඇත. මෙවැනි මළ සිරුරු භූමදානය කිරීමට පෙර ඒවායේ ඡායාරූප සහ ඇඟිලි සලකුණු ආදිය ගැනීමටත්, ඩීඑන්ඒ සාම්පල ලබා ගැනීමටත් අදාළ කණ්ඩායම් පියවර ගෙන තිබේ.

ඇතැම් මව්පියන්ට තම දරුවන් අහිමිව තිබීමත්, දරුවන්ට මව්පියන් අහිමිව තිබීමත් තවත් කනගාටුදායක කාරණයකි.

මෙම ප්‍රදේශයේ ජල විදුලි බලාගාරවල සේවය කරමින් සිටි කම්කරුවන් 900 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇත. යම් පිරිසක් භූගත උමංවල සිරවී සිටින බව වාර්තා විය. ඔවුන් බේරා ගැනීම සඳහා ද අති දුෂ්කර මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.

ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව වැනි රටවල් මේ වනවිට නේපාලය තුළ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා උදව් කරමින් සිටියි.

මෙම ඛේදවාචකය නේපාල ආර්ථිකය මත ද විශාල බරක් පටවා ඇත. යටිතල පහසුකම්වලට සිදුව ඇති හානිය පමණක් නේපාල රුපියල් බිලියන 200 කට (ඇ. ඩොලර් බිලියන 1.3 කට) ආසන්න බවට ගණන් බලා තිබේ. මෙම ජලගැල්ම නිසා නිවාස ඇතුළු ගොඩනැගිලි, මං මාවත්, පාලම්, විදුලි බලාගාර ආදී බොහෝ දේ විනාශ වී ඇත.

මෙම ප්‍රදේශ නැවත ගොඩ නැගීම සඳහා ඇ. ඩොලර් බිලියන 4- 5 අතර මුදලක් වැය වනු ඇතැයි නේපාල මුදල් අමාත්‍ය ස්වර්නිම් වාග්ලේ දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේය. නමුත් මෙම ඇස්තමේන්තු ඉදිරියේදී තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

More News..