මගේ විවාහයේදී අපේ පවුල ගැන කියපු කතා ප්‍රශ්නයක් වුණේ නැහැ - රුචිනි
04 October 2026 | අරුණි ජයසේකර
මගේ විවාහයේදී අපේ පවුල ගැන කියපු කතා ප්‍රශ්නයක් වුණේ නැහැ - රුචිනි
04 October 2026 | අරුණි ජයසේකර
තම රංගන හැකියාවෙන් වේදිකාව පුංචි තිරය පමණක් නොව රිදී තිරයද ජයගත් ජනප්‍රිය රංගන ශිල්පී කලණ ගුණසේකර පසුගියදා තම ජීවිතයේ අලුත් පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කළා. ආසිරි ගී මැද මංගල රන්හුයෙන් අතැඟිලි එක් කළ කලණ සහ රුචිනි දෙපළ ඔවුන්ගේ ආදර කතාවේ සොඳුරු ඉසව් ගැන කතා කරන්න පිනිපලස සමග එකතුවුණා. මුලින්ම ඔවුන්ගේ ආදර කතාවේ ආරම්භය ගැන පැවසුවා.
කේමදාස පදනමේ පැවැති වැඩමුළුවකදී මම පළවෙනි වතාවට රුචීව දකිනවා. එදා දැක්කා විතරයි. ඉන් පසුව මට ආයේම රුචි මුණගැහෙන්නේ මගේ පොත දොරට වඩින දවසේ එදා අපි දෙන්නා කතාබහ කළා. ඒ කතාබහ දුරදිග ගිහින් අපි දෙන්න අතර ආදර කතාව ආරම්භ වෙනවා.
එසේ ආරම්භ වූ ආදර කතාව අද දක්වා පැමිණි ගමන ගැනත් කලණ පවසනවා.
බොහොම සුහද කතාබහකින් ආරම්භ වෙලා අද දක්වා පැමිණි දීර්ඝ ආදර කතාවක් අපි දෙන්නට තිබෙනවා. මේ කාලය තුළ මම විවිධ වූ මානසික අවදීන් පසුකළා. ඒ තැන්වලදී රුචි බොහොම ඉවසීමෙන් මාව දරා ගන්නවා. බාධක හැලහැප්පීම් අපි අතර ඇතිවුණත් එකිනෙකා හොඳින් අවබෝධ කර ගත් ආදර කතාවක් අපිට තිබෙනවා. ඒ ආදර කතාව විවාහයත් සමග කෙළවර වුණේ නැහැ. විවාහයත් සමග ඒ ආදරය ආයෙමත් පටන් ගත්තා කියලා මට හිතෙනවා.
විවාහයත් සමග ආරම්භ වූ ඒ ආදරයේ සතුට වචන බවට මෙලෙස පත්වුණා.
දුක, වේදනාව කැපකිරීම් අහිමිවීම් කඩාගෙන වැටීම්, ආදී මේ සියලු අවදීන් පසුකර ගෙන මම ගමන්ක් ආව කෙනෙක්. මෙතැනින් එහාට මගේ ජීවිතයට එන සියලු ප්‍රශ්න බෙදාහදා ගන්න ශක්තියක් ආදරණීය බවක් අවශ්‍යයි කියලා හිතුණා. රුචීගේ ගතිගුණ හරිම හොඳයි. ඒ ගුණාංගයත් එක්ක මගේ ගමනට ගැළපෙන හොඳම කෙනා ඇය. ඒ නිසා අපි අපේම කියලා ජීවිත කතාවක් ලියන්න පටන් ගත්තා. ඉදිරියේදිත් මේ ආදරය මේ විදියටම ගලාගෙන යාවි.
විවාහයත් සමග සමාජය තුළ ඇති වී තිබෙන කතබහ ගැන කලණට තිබුණේ මෙවන් කතිකාවතකි.
මම ආදරය කළේ විවාහ වුණේ රුචී එක්ක මිසක්, එයාගේ විජේසුන්දර පවුල එක්ක නොවෙයි. ඒ වුණාට බොහෝ දෙනා විජේසුන්දර කියන පවුල අල්ලගෙන මමත් නොදන්න බොහෝ දේවල් සමාජගත කරලා තිබුණා. ඔවුන් එහෙම හැසිරීම කොතරම් දුරට හරිද වැරදිද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම එකක් දන්නවා. මගේ ආදරයට සහ විවාහයට මට අදාළ වුණේ රුචී කියන පුද්ගලයා විතරයි. ඒ වගේම රුචී කියන්නේ මිනිස්සු කියන විදියේ කෝටිපතිනියක් නොවෙයි. එයාත් මේ සමාජයේ ජීවත් වෙන බොහොම සාමාන්‍ය ගැහැනු ළමයෙක් . රුචියි මායි කසාද බැඳලා ජීවත් වෙන්නෙ අපි දෙන්නගේ රැකියාවෙන් උපයාගත් මුදලින් රෙන්ට් එකට ලබා ගත්ත එපාර්ට්මන් එකක.
ඒ වගේම මේ සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනාට රුචීගේ ශරීරයේ මහත ප්‍රශ්නක් වෙලා තිබුණා. මට අනුව රුචී කියන්න ඉතාමත් ප්‍රසන්න පෙනුමක් තිබෙන ටිකක් මහත කෙනෙක්. කිසිම දවසක මට ප්‍රශ්නයක් නොවූ රුචීගේ මහත ශරීරය ගැන කතා කළ මිනිස්සුන්ගේ මානසික තත්ත්වය ගැන පුදුම සහගත බවක් දැනෙනවා.
තම ආදර ගැන සහ විවාහය ගැන කළ අදහස් දැක්වීමට ඔහුගේ ජීවන සහකාරිය රුවිනි විජේසුන්දර ද අප සමග එකතුවුණා.
විවාහයත් එක්ක මගේ ජීවිතයේ ලොකු වෙනසක් වුණා කියලා මට හිතෙනවා. මේ වෙනසට සාර්ථකව මුහුණ දීලා කලණ එක්ක හැමදාම සතුටින් ඉන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව. කලණ කියන්නේ හරිම ආදරණීය කෙනෙක්. ඒ වගේම අනෙකා කෙරෙහි අනුකම්පා සහගත තවත් කෙනකුගේ හිතේ තියෙන වේදනාවක් තේරුම් ගන්න පුළුවන් සංවේදී හිතක් තිබෙන කෙනෙක්. කලණට ආදරය කරන වගේම විවාහ වෙන්න ගත්ත තීරණය මම මගේ ජීවිතේ ගත්ත හොදම තීරණවලින් එකක්. ඒ ගැන හිතට දැනෙන සතුට වචනවලින් කියලා නිම කරන්න බැහැ.
තමන්ගේ ජීවිතේ ලස්සනම දවසේදි ලැබුණු ප්‍රතිචාර ගැන රුචිනිට තිබුණේ මෙවන් අදහසක්.
මම කවදාවත්ම අනෙක් අය කියන කතා මගේ ජීවිතයට අදාළ කරගෙන ජීවත් වෙන කෙනෙක් නොවෙයි. ඒ නිසා මිනිස්සු මගේ විවාහයේදී මම ගැන සහ මගේ පවුල ගැන කිව්ව කතා නිසා ජීවිතයට ලොකු බලපෑමක් වුණේ නැහැ. මම එහෙම වුණාට එක එක ප්‍රශ්න එක එක්කෙනාට දැනෙන ආකාරය සහ ඒ වෙනුවෙන් ක්‍රියා කරන විදිය වෙනස්. වර්තමානයේ සෝෂල් මීඩියාවලින් කියන එක කෙනකුගේ ජීවිතය මරණකින් පවා කෙළවර කළ හැකි බරපතළ කාරණයක්. මොකද මේ බුලි කිරීම දරාගන්න බැරි කෙනෙක්ට මෙහෙම වුණොත් ඔහු හෝ ඇය තමන්ගේ ජීවිතයට වුණත් හානියක් කරගන්න පුළුවන්.
කාර්ය බහුල ස්වාමිපුරුෂයකුගේ බිරිඳවීම එතරම් පහසු නැති බව රුචිනිගේ අදහසයි.
විවාහයට කලින් ඉඳලම මම කලණ දිහා අවබෝධයෙන් බැලුවා. ඒ වගේම ඔහුත් වැඩක් කරද්දි පුළුවන් හැම වේලාවෙම ඒ දේවල්වලට මාව සම්බන්ධ කර ගත්තා.
මේ දිනවල නම් අපි ඒ තරම් කාර්යබහුල නැහැ. කොළඹින් බැහැරවෙලා ටිකක් නිදහසේ ජීවිතය විඳිමින් ඉන්නවා. ලබන මාසේ කලණ අධ්‍යක්ෂණය කරන සිනමාපටයක වැඩ පටන් ගන්නවා. එහි රූගත කිරීම් කරන්නේ. මදුරන්කුලියේ. එහෙත් ගිහින් තමයි ආපහු කොළඹ එන්නේ.

