brand logo
logo
කුරක්කන් භාවිතය වැඩිකිරීමට කුරහන් මිහිර එයි

කුරක්කන් භාවිතය වැඩිකිරීමට කුරහන් මිහිර එයි

05 November 2026


රට තුළ දේශීය කුරක්කන් භාවිතය හා නිෂ්පාදනය ප්‍රචලිත කිරිමේ අරමුණින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන “කුරහන් මිහිර” ප්‍රදර්ශනය මෙම මස 05 වැනිදා සහ 06 වැනිදා දෙදින පුරා හම්බන්තොට ලුණුගම් වෙහෙර බහුකාර්ය ගොඩනැගිලි පරිශ්‍රයේදී පැවැත්වේ. කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්තගේ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රවින් තුෂාර වික්‍රමආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය පෙ.ව. 9. 00 සිට සවස 5.30 දක්වා පැවත්වීමට කටයුතු යොදා ඇත.


කුරක්කන් ආශ්‍රිත ආහාරපාන, අගය එකතු කළ නිෂ්පාදන, කුරක්කන් වගාව පිළිබඳ නව තාක්ෂණික දැනුම, විද්වත් දේශන, ව්‍යවසායකත්ව මඟ පෙන්වීම්, විදි නාට්‍ය හා නර්තනාංග ආදි විශේෂාංග රැසකින් කුරහන් මිහිර ප්‍රදර්ශනය සමන්විත වේ. ශ්‍රී ලාංකේය ජනතාව තුළ කුරහන් භාවිතය ප්‍රචලිත කිරීම මෙම කුරහන් මිහිර ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණයි.


මීට සමගාමීව ලුණුගම් වෙහෙර සිනිමුල්ල වෙල්යායේදි “ලියද්දෙන් පිම්මක්” කුරක්කන් වගා කිරීමේ ජාතික මෙහෙයුම ආරම්භ කිරීමටද නියමිතය. එහිදී කුඹුරු ඉඩම් සඳහා අමතර බෝග වගාවක් ලෙස කුරක්කන් වගාව හඳුන්වාදීම සිදු කෙරේ. මෙමගින් රටේ කුරක්කන් නිෂ්පාදනය ඉහළ නංවා පාරිභෝගිකයාට සාධාරණ මිලට එය ලබාදෙමින් නිරෝගි ජනතාවක් බිහිකිරීම මෙම ක්‍රියාන්විතයේ ප්‍රධානතම අරමුණයි.‍ එසේම‍ ‍‍‍දේශීය කුරක්කන් වගාවට ජනතාව යොමු කිරීම, වී වගාවට අමතරව වැඩි ආදායමක් ලබා ගැනීම, දේශීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම ආදිය මෙහි සෙසු අරමුණු අතර වේ.


මෙහිදී කුඹුරු ඉඩමක අක්කරයකින් අටෙන් එකක, එනම් පර්චස් 20ක පමණ කුරක්කන් වගා කිරීමට වගා කරුවන් දිරිමත් කෙරේ. ඒ සඳහා එක් වගාකරුවකුට රුපියල් 10,000ක සහනාධාරයක්ද ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙම ජාතික වැඩසටහන මෙවර හම්බන්තොටදි ආරම්භ වන අතර ඉදිරියේදි එය අනුරාධපුර, මොණරාගල, අම්පාර, පොළොන්නරුව යන දිස්ත්‍රික්ක ආවරණය පරිදි පැවැත්වීමට නියමිතය.

 

More News..