මෙරට ප්‍රථම විස්තීර්ණ ජාතික බැටරි පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කෙරේ
23 November 2026
මෙරට ප්‍රථම විස්තීර්ණ ජාතික බැටරි පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කෙරේ
23 November 2026
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙන්, මෙරට ප්‍රථම විස්තීර්ණ ජාතික බැටරි පරීක්ෂණ සේවාව ලෙස ස්ථාපිත කළ විද්‍යුත් සංචලන සහ බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය අද (23) විවෘත කර තිබේ .
රජයේ ජාතික තත්ත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 118ක් සහ ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (NERDC) අරමුදල්වලින් රුපියල් මිලියන 43.5ක් ආයෝජනය කරමින්, රුපියල් මිලියන 161.5ක වැයකින් මෙම මධ්‍යස්ථානය NERDC පරිශ්‍රයේ ස්ථාපිත කර ඇත.
දේශීය බැටරි නිෂ්පාදකයින්, ආනයනකරුවන්, පර්යේෂකයින් සහ තාක්ෂණ සංවර්ධකයින්ට අවශ්‍ය පරීක්ෂණ සේවා මෙරට තුළදීම ලබාගැනීමට මේ හරහා අවස්ථාව සැලසෙනු ඇති. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරන්නේ, බැටරි සහ බැටරි පද්ධතිවල ක්‍රියාකාරීත්වය, ධාරිතාව, කල්පැවැත්ම සහ ආරක්ෂාව පරීක්ෂා කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණික පහසුකම් මෙන්ම විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ බැටරිවල ක්‍රියාකාරීත්වය ඇගයීම හා විද්‍යුත් වාහන ආරෝපණ උපකරණ පරීක්ෂා කිරීමේ පහසුකම්ද මෙහි ස්ථාපිත කර ඇති බවයි.
පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය, බලශක්ති කාර්යක්ෂමතාව සහ තිරසර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම සඳහා නවීන බැටරි තාක්ෂණය අත්‍යවශ්‍ය බව මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පෙන්වා දුන්නා. විදේශීය තාක්ෂණය ආනයනය කිරීමට පමණක් සීමා නොවී එම තාක්ෂණයන් පරීක්ෂා කිරීමට, වැඩිදියුණු කිරීමට සහ මෙරටට ගැළපෙන නව තාක්ෂණික විසඳුම් සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් රට තුළම ගොඩනැගීම රජයේ අරමුණ බවද ඔහු එහිදී සඳහන් කළේය.
එමෙන්ම, බැටරිවල ආරක්ෂාව සහ පාරිසරික බලපෑම් සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා, භාවිතයෙන් ඉවත් කරන බැටරි නිසි ලෙස කළමනාකරණය කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම වර්ධනය කිරීමේ වැදගත්කමද අවධාරණය කර තිබේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක, NERDC සභාපති ආචාර්ය චිත්‍රාල් අඹවත්ත ඇතුළු නිලධාරීන් සහ දේශීය හා විදේශීය කර්මාන්ත ක්ෂේත්රයේ නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය .


