සෞඛ්ය හා ආර්ථික ක්ෂේත්ර සංවර්ධනයට තායිලන්තයේ සහාය
29 October 2026
සෞඛ්ය හා ආර්ථික ක්ෂේත්ර සංවර්ධනයට තායිලන්තයේ සහාය
29 October 2026
ශ්රී ලංකාවේ සෞඛ්ය, අධ්යාපන, තාක්ෂණ හා ආර්ථික ක්ෂේත්රවල සංවර්ධනය සඳහා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්රී ලංකාව සහ තායිලන්තය අවධානය යොමු කර තිබේ.
ඒ සම්බන්ධයෙන් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ තායිලන්ත නියෝජ්ය අග්රාමාත්ය මෙන්ම උසස් අධ්යාපන, විද්යා, පර්යේෂණ හා නවෝත්පාදන අමාත්ය මහාචාර්ය යොදචානන් වොන්ග්සවත් (Prof. Yodchanan Wongsawat) මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඊයේ (28) තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්රණ මධ්යස්ථානයේදී පැවැත්වෙන පස්වැනි ආසියා-පැසිෆික් අමාත්ය මණ්ඩල සමුළුවට සමගාමීව මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී ශ්රී ලංකාවේ සෞඛ්ය සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෘත්රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණයන් භාවිත කිරීම සහ ඒ සම්බන්ධයෙන් තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.
එමෙන්ම දෙරටේ විශ්වවිද්යාල සහ උසස් අධ්යාපන ආයතන අතර ශිෂ්ය, ආචාර්ය මණ්ඩල හා පර්යේෂණ හුවමාරු වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
කෘෂිකර්මාන්තය, වාරිමාර්ග සහ විද්යාත්මක ජල කළමනාකරණය සඳහා නවීන තාක්ෂණික සහාය ලබාගැනීමේ හැකියාව ද මෙහිදී අවධානයට ලක්විය.
මේ අතර, ශ්රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සඳහා තායිලන්ත ආයෝජකයන් දිරිමත් කිරීම සහ දෙරට අතර සංචාරක ප්රවර්ධන වැඩසටහන් ඒකාබද්ධව ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇත.
දෙරට අතර ශතවර්ෂ ගණනාවක් පුරා පවතින ථෙරවාද බෞද්ධ උරුමය මත පදනම් වූ ආගමික, සමාජීය හා සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම ද සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.
මෙම සාකච්ඡාවට ශ්රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා සහ රාජ්ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ඉංජිනේරු (ආචාර්ය) සනත් පනාවැන්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. තායිලන්ත රජය නියෝජනය කරමින් ජ්යෙෂ්ඨ රාජ්ය තාන්ත්රික නිලධාරීන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

