Best News Website award
brand logo
logo
අඩුකළ බද්දෙන් පොත්වලට වාසි වෙන්නේ කොහොමද?

අඩුකළ බද්දෙන් පොත්වලට වාසි වෙන්නේ කොහොමද?

21 November 2026 | ඉන්දික සංජීව විතාන

සැප්තැම්බරයේ කොළඹ පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, ඉදිරි අයවැය යෝජනා මගින් පොත් සඳහා පනවා ඇති වැට් (VAT) බද්ද සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තමාට විශේෂයෙන්ම කතා කර මෙම පණිවුඩය ජනතාවට දන්වන ලෙස පැවසූ බවත්, පොත් කියවන, පොත්වලට ගරු කරන රජයක් ලෙස ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බද්ද සංශෝධනය කර සහනයක් ලබාදීමට උපරිම උත්සාහ කරන බවත් ඇය එහිදී සඳහන් කළාය.

පොත් ප්‍රදර්ශනය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය දැවැන්ත සටන් පාඨයක් ලෙස සඳහන් කරමින් සිටියේ, පොත් සඳහා වැට් බදු පනවා ඇති හෙයින් පොත්පත්වල මිල ඉහළ ගොස් ඇති බවය. මේ වැට් බද්ද අයින් කරන්නේ නම් 20% ක වට්ටම වෙනුවට 30% කටත් වඩා වට්ටමක් දිය හැකි බවත් ඒ ප්‍රකාශ අතරේ විය. ඒ නිසා හැම පොත් කියවන්නකුගේම ප්‍රාර්ථනාව වූයේ මෙවර අයවැයෙන් පොත් සඳහා පනවා ඇති වැට් බද්ද අඩුවෙනු ඇසීමය. පොත්වලට පැනවූ වැට් බද්ද අඩු වුණේය. ඉතින් ඒ බදු සහනය ​පොත්වලට ලැබෙන්නේ කොහොමද?


2024 වසරේ ආරම්භයේ දී එවකට පැවති රජය මගින් රටේ අනෙකුත් භාණ්ඩවලට බදු නියම කරද්දී පොත්පත්, සඟරා මෙන්ම මුද්‍රණ කඩදාසි ඇතුළු අමුද්‍රව්‍ය මතද 18%ක වැනි ඉහළ වැට් බද්දක් පැනවීය. එයින් එතෙක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික හා සාහිත්‍යමය ප්‍රකාශන සඳහා පැවැති බදු සහනය අහෝසි වීමත් සමග පොත්පත්වල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම හමුවේ දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටි ජනතාවට, පොතපත මිලදී ගැනීම සුඛෝපභෝගී අවශ්‍යතාවක් බවට පත්වූ අතර, එහි ආසන්නතම ප්‍රතිඵලය වූයේ ජනතාව පොත් මිලදී ගැනීමෙන් සහ දැනුම සෙවීමෙන් තරමක් ඈත්වීමය. මේ නිසාම අන්තර්ජාලයේ කියවිල්ලටද වැඩි පිරිසක් ඇදී ගියහ.

බදු බර හේතුවෙන් පොත්පත්වල මිල ඉහළ යෑම පාඨකයාට පමණක් නොව, මුළු මහත් මුද්‍රණ හා ප්‍රකාශන කර්මාන්තයටම දැඩි බලපෑමක් එල්ල කළේය. කර්මාන්තයේ නියැළී සිටින කතුවරුන්, ප්‍රකාශකයන්, මුද්‍රණ ශිල්පීන් මෙන්ම පොත් අලෙවිකරුවෝද දැඩි අර්බුදයකට ලක්වූ අතර, බොහෝ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ප්‍රකාශන ආයතන වැසී යෑමේ තර්ජනයට පවා මුහුණ දන්හ. ඒ නිසා සැප්තැම්බරයේ වැඩි මිලට පොත් මිලදී ගෙන නොවැම්බරයේ අයවැය එනතුරු හැමදෙනාම බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියහ. ඒ අනුව පසුගියදා ඉදිරිපත්කළ අයවැය මගින් සියලුම අභ්‍යාස පොත් සහ මුද්‍රිත පොත්පත් සඳහා පනවා තිබූ 18% ක එකතු කළ අගය මත බද්ද (VAT) සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය. අභ්‍යාස පොත් (Exercise Books) වලට අමතරව පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර හා රූප ඇඳීමේ පොත් මෙන්ම සියලුම අධ්‍යාපනික ප්‍රකාශන සහ මුද්‍රිත පොත්පත් ද මේ බදු නිදහසට ඇතුළත් විය.

වැට් (VAT) බදු සහනය හේතුවෙන් වෙළෙඳපොළේ පවතින සියලුම අභ්‍යාස පොත්වල මිල දෙසැම්බර් මස 01 වැනිදා සිට 18%කින් අඩු කිරීමට පියවර ගන්නා බව ජාතික පොත් ව්‍යාපාරික සංගමය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේය. මෙම බදු සහනයේ සැබෑ ප්‍රතිලාභය සෘජුවම පාසල් සිසුන්ට සහ දෙමව්පියන්ට ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව ඉදිරි මාසයේ සිට දිවයින පුරා අලෙවි කෙරෙන සියලුම වර්ගයේ අභ්‍යාස පොත් සඳහා මෙම මිල අඩු කිරීම බලපැවැත්වෙන්නේය. ජාතික පොත් ව්‍යාපාරිකයන්ගේ සංගමය අභ්‍යාස පොත් සම්බන්ධයෙන් එසේ කියද්දී පාඨකයන් බලා ඉන්නේ වැට් බද්ද අහෝසි කිරීම නිසා අනෙකුත් මුද්‍රිත පොත්වල මිල අඩුවෙන්නේ ද යන්න දැනගන්නටයි.


‘‘2024 අවුරුද්දේ ආරම්භයේදී එවකට පැවැති රජයෙන් තමයි පොත්පත්, සඟරා මෙන්ම මුද්‍රණ කඩදාසි ඇතුළු අමුද්‍රව්‍ය මත 18%ක වැනි ඉහළ වැට් බද්දක් පැනවීමට කටයුතු කළේ. එදා සිට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්‌ගේ සංගමය විදියට අපි මේ බදු අඩුකර ගන්න දැවැන්ත අරගලයක් කළා. කොහොම නමුත් ඒකෙ ප්‍රතිඑලයක් විදියට මෙවර අයවැයෙන් පොත් මත පැනවූ වැට් බද්ද ඉවත්වෙලා තිබෙනවා. ඒක මේ රටේ සමස්ත පාඨකයන් ලැබූ විශාල ජයග්‍රහණයක්. රටක් ලෙස සාහිත්‍ය කර්මාන්තයත්, කියවීමේ සංස්කෘතියත් නගා සිටුවීමට නම් පොත්පත් ජනතාවට දරාගත හැකි සාධාරණ මිලකට ලබාදීම අත්‍යවශ්‍ය වෙනවා. වත්මන් රජය ගත් මෙම පියවර හරහා ඉදිරියේදී පොත්පත්වල මිල යම් තරමකට හෝ පහළ බැසීමත්, ඒ හරහා පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන් සහ සාමාන්‍ය පාඨකයන් නැවතත් පොතපත වෙත යොමුවීමත් අපේක්ෂා කළ හැකියි.’’

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි කියන්නේ සියලුම අඩු කිරිම් ඉදිරියේ දී සිදුකරන බවත් උදාවන කාලය පාඨකයන්ට යහපත් කාලයක් වේවි යැයි විශ්වාස කරන බවත්ය.

‘‘පොත් මුද්‍රණය කරන කඩදාසි අඩුවෙලා නැහැ. අනෙකුත් වියදම් එහෙමමයි. නමුත් වැට් බද්ද අහෝසිවීම නිසා සැලකිය යුතු ප්‍රමාණයකින් පොත් මිල අඩුවීමක් වෙනවා. මෙතනදි පත්තර කඩදාසිය අඩුවෙලා තිබෙන්නේ. දැනට වසර පහ හයකට පෙරාතුව නම් ඔය කඩදාසියෙන් පොත් මුද්‍රණය කළා. නමුත් ඒක කියවන්න අපහසුයි. ඒ් වගේම කාලයක් තියා ගන්න බැහැ. මම හිතන්නේ නැහැ ආයෙත් පොත් ප්‍රකාශන කර්මාන්තය එතනට යයි කියලා. කොහොම නමුත් පාඨකයන්ට දෙන්න පුඑවන් උපරිම සහනය අපි දෙනවා.’’

එදා 2024 ජනවාරියේ සිට වාර්ෂික පිරිවැටුම (Turnover) රුපියල් මිලියන 60 ඉක්මවන සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් සඳහා ලියාපදිංචි වී ඇති ප්‍රමුඛ පෙළේ සියලුම පොත්හල් ජාල සහ ප්‍රකාශන ආයතන මගින් පොත් අලෙවියේදී වැට් බදු එකතු කරනු ලැබීය. එහිදී මුලින්ම පොත්වලට වැට් ගසා මහත් ආන්දෝලනයට ලක්වුණේ සරසවි පොත් සමාගමය. වැට් බදු පැනවීම ලාංකේය පොත් ප්‍රකාශන ක්‍ෂේත්‍රයට ඉතාම නරක අන්දමින් බලපා තිබූ මෙහොතක වත්මන් රජය මගින් මුද්‍රිත පොත් මත පනවා තිබූ වැට් බද්ද ඉවත් කිරීම, දුරස්ව යන්නට ගිය පාඨකයන් නැවත පොත්හල් කරා කැඳවාගැනීමට හොඳ උත්තේජකයක් වූ බව සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩී.ප්‍රේමසිරි පවසන්නේය.

‘‘පහුගිය ආණ්ඩු කාලේ ඉඳලා අපි මේ සම්බන්ධයෙන් ඉල්ලිම් කළා. නමුත් ඒගැන කවුරුවත් කන්දුන්නේ නැහැ. මේ රජය තමයි ලේඛකයන් - පාඨකයන් පැත්තෙන් හිතලා මේ ආකාරයට මුද්‍රිත පොත්වලින් වැට් ඉවත් ක‌ළේ. තවම අයවැය යෝජනාව සම්මතවෙලාත් නැහැනෙ. කඩදාසිවලට අඩුවුණේ නැහැ. නමුත් පොත අලෙවි කරනකොට අපිට එකතු කරන්න වුණ වැට් බද්ද දැන් ඉවත් කරන්න පුඑවනි. අයවැය යෝජනාව ක්‍රියාත්මක වෙන දවසේ ඉඳලා අපිට වැට් අයින් කරලා අලෙවි කරන්න පුඑවන් වෙනවා. අලුතින් නිකුත්වන පොත්වලට වැට් අයින් කරලා මිල නියම කරන්න පුළුවනි. නමුත් දැන් මිල නියම කරලා තිබෙන පොත්වලට වුණත් අපිට එදින සිට මිල අඩු කිරීමක් කරලා පාඨකයාට දෙන්න පුළුවන්.’’

ඔහු වැඩිදුරටත් කියන්නේ සාමාන්‍යයෙන් තමන් පාඨකයාට දෙන 20%ක වට්ටමත් සමග වැට් බදු අයින් කළවිට 38% ක් අඩුවෙන් පාඨකයාට පොතක් ලබා දීමට හැකි බවය.

එදා මෙම වැට් බදු වැඩි කෙරුණු අවස්ථාවේ රජය “ෆ්ලෝරන්ස්” ගිවිසුමද උල්ලංඝනය කරමින් සිටින බව පොත් ප්‍රකාශකයන් නිතර නිතර පැවැසූහ.


ෆ්ලෝරන්ස් ගිවිසුම යනු අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී පනවනු ලබන තීරුබදු සහ වෙනත් වෙළෙඳ බාධක ඉවත් කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානය විසින් හඳුන්වා දුන් ජාත්‍යන්තර ගිවිසුමකි. එහි නිල නාමය වන්නේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික ද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳ ගිවිසුම යන්නය. 1950 ජුනි 17 වැනි දින ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ පැවැති යුනෙස්කෝ සමුළුවේ පස්වැනි සැසිවාරයේදී මෙය සම්මත කරගන්නා ලද අතර ෆ්ලෝරන්ස් නගරයේදී සම්මත වූ නිසා මෙය ෆ්ලෝරන්ස් ගිවිසුම ලෙස හඳුන්වයි. 1952 මැයි මස සිට බලාත්මක වූ ෆ්ලෝරන්ස් ගිවිසුමේ අරමුණ වූයේ රටවල් අතර දැනුම අදහස් සහ තොරතුරු නිදහසේ ගලායාම ප්‍රවර්ධනය කිරීමය. මෙම ගිවිසුම ජාත්‍යන්තරව බලාත්මක වූ දිනයේ සිටම ශ්‍රී ලංකාවටද එය ක්‍රියාත්මක වුණේය. මෙම ගිවිසුමට අත්සන් තබා ඇති රටවල්වල පොත්පත් ප්‍රකාශන සහ ලේඛන, කලාකෘති සහ කෞතුක භාණ්ඩ, ශ්‍රව්‍ය දෘෂ්‍ය ද්‍රව්‍ය, විද්‍යාත්මක උපකරණ, දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා වන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී තීරුබදු අය නොකිරීමට බැඳී සිටියි. ලංකා රජය ෆලෝරන්ස් ගිවිසුමද උල්ලංඝනය කරමින් සිටින බවට පොත් ප්‍රකාශකයෝ චෝදනා කළේ මේ නිසාය.


මෙවර අයවැයෙන් ලැබෙන වැට් බදු සහනය නිසා විදෙස් රටවලින් ආනයනය කරන ඉංග්‍රිසි පොත් සහ අධ්‍යාපනික පොත්වලට විශේෂ වාසියක් ලැබෙන බව සදහන් කරන අකුර පොත් ප්‍රකාශන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මෙන්ම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උප සභාපතිවරයකු වන දීපාල් මොරායස් කියන්නේ අයවැය බලාත්මක වන දවසේ සිටම පොත්වල වාසිය පාඨකයන්ට ලබා දීමට කටයුතු කරන බවය.

‘‘ඇත්තෙන්ම අපි මේ දීර්ඝ කාලයත් තිස්සේ කරපු ඉල්ලීමක ප්‍රතිඑලයක්. මේ වැට් බදු පැනවීම නිසා පොත් මිල ඉහළ යෑමෙන් මුද්‍රණකරුවන්, පොත් අලෙවිකරුවන්, ආනයනකරුවන්, ලේඛකයන් හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නියෝජනය කරන විවිධ පාර්ශ්වයන් දැඩි අපහසුතාවට පත්ව හිටියා. මම දන්න තරමින් වැට් බද්ද ඉවත් වෙන්න තියෙන්නේ අප්‍රේල් කාර්තුවත් අවසන් වුණාට පසුවයි. එහෙම වුණොත් අප්‍රේල් වෙනතෙක් අඩුවීමක් වෙන එකක් නැහැ. දැනට මේවනවිට මුද්‍රණය කළ පොත් තොග විශාල ප්‍රමාණයක් අපි සතුව තිබෙනවා. ඒ නිසා තිබෙන පොත් තොගවලට මේ මිල අඩුවීම අදාළ වෙන්නේ නැහැ. මොකද ඒ පොත් වෙනුවෙන් අපි පිරිවැය දරලා ඉන්නේ. ඩොලරයත් එක්ක සියල්ලම වැඩිවෙලා තිබුණු කාලෙයි. කොහොම නමුත් අඩුකළ වැට් බද්දේ සහනය අපි අනිවාර්යයෙන්ම පාඨකයාට ලබා දෙනවා. කොහොම නමුත් එළැඹෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී පොත් මිල අඩුවීමක් දක්නට ලැබේවි.’’

තිබෙන පොත්වල මිල අඩු වෙන්නේ නැතැයි අකුර ප්‍රකාශන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දීපාල් මොරායස් කියද්දී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් ලසිත් උමගිලිය කියන්නේ මේ මිල අඩුවීම සිදුවන්නේ ක්‍රමානුකූලව බවයි.

‘‘අයවැය සහනය එක්ක පොත්වල මිල අඩුවීමක් වෙනවා. නමුත් කියන ඉක්මනටම අඩුවෙයි කියලා විශ්වාස කරන්න බැහැ. මොකද පොතක මිල තීරණය වෙන්න කරුණු කාරණා කිහිපයක්ම බලපානවා. පොත්වලට අවස්ථා තුනකදී වැට් එකතු වෙනවා. එකක් කඩදාසි තීන්ත ආදි අමුදුව්‍ය ආනයනයේ දී, අනෙක මුද්‍රණයේ දී, අනිත් අවස්ථාව තමයි දැන් අපි කතා කරන අලෙවියේදී එකතු කළ 18% වැට් බද්ද. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තමයි මේකෙ ලොකුම බලපෑමක් වුණේ. පොත් අලෙවියේදී අවම 40%-50% අතර වට්ටමක් පොත් අලෙවිසලට දෙන්න ඕනෙ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ වැට් එකත් ප්‍රකාශකයන්ගේ මතම පැටෙව්වා. අපි දිගින් දිගටම පැවති රජයන්වලින් ඉල්ලීම් කළේ මේ සුඑ හා මධ්‍ය පරිමාණ ප්‍රකාශකයන් රැක ගන්න. නැතිනම් ඔවුන් මේ කර්මාන්තයෙන් ඉවත්වෙලා යනවා. මේ කියන මිල අඩුවීම සිදුවෙන්නේ ක්‍රමානුකුලව. වැට් එක ඉවත් වෙන්නේ අප්‍රේල් මාසෙ. එතෙක් කොහොමත් මිල අඩුවීමක් සිදුවෙන්නේ නැහැ.’’

මෙම බදු සහනයේ සෘජු වාසිය පාඨකයා වෙත ලබා දීමට මේ ආකාරයට ප්‍රකාශකයන් පියවර ගන්නේ නම්, පොත් මිල සැලකිය යුතු ලෙස පහළ බැසීමට අවස්ථාව ඇත්තේය. එසේ වුවහොත් පොත් සාප්පු අසලින් ඉවත බලාගෙන ගිය පාඨකයාට දැන් නැවතත් තම ප්‍රියතම කෘති මිලදී ගැනීමේ අවස්ථාව උදා වෙන්නේය. මෙම සාධනීය වෙනස හරහා බිඳවැටුණු පාඨක සමාජය යළි පණ ගැන්වෙනු ඇති අතර, සාහිත්‍ය කලාවේ මෙන්ම දැනුම බෙදාහැරීමේ ක්‍රියාවලියේද නව පිබිදීමක් ඇති වනු ඇත.


 

More News..