සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
22 July 2026
සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
22 July 2026
ශ්‍රී ලංකාවේ දරුවන් සයිබර් තර්ජන, මාර්ගගත ප්‍රචණ්ඩත්වය සහ ඔවුන්ගේ යහපැවැත්මට සිදුවන සෘණාත්මක බලපෑම්වලින් ආරක්ෂා කරගැනීම සඳහා නියාමන සහ අධ්‍යාපනික විසඳුම් සහිත විස්තීර්ණ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
ඩිජිටල් අධ්‍යාපන කාර්ය සාධක බලකායේ (Digital Education Task Force) බහු-විෂයයික ක්‍රියාකාරී කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් සංවිධානය වූ මෙම සාකච්ඡාවේදී, දරුවන්ට ඩිජිටල් අවකාශයෙන් ලැබෙන ප්‍රතිලාභ තහවුරු කරන අතරම මාර්ගගතව සිදුවන හානිවලින් ඔවුන් ආරක්ෂා කරගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කර තිබේ.
ලොව පුරා රටවල් ගණනාවක්ම ළමුන් සමාජ මාධ්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් වයස් සීමාවන් පැනවීමට සාකච්ඡා කරමින් සිටින පසුබිමක, මෙවැනි තහනම් කිරීම් බලාත්මක කිරීමේ ඇති සංකීර්ණතාව සහ එහි සඵලදායිතාව පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සමාලෝචනය කර ඇත.
ප්‍රථමයෙන් මෙවැනි තහනමක් පැනවූ රටේ සිදුකළ අධ්‍යයනයකට අනුව, දරුවන්ගෙන් 85% ක්ම වෙනත් ක්‍රම ඔස්සේ තවදුරටත් එම ප්ලැට්ෆෝම් (Platforms) භාවිතා කර ඇති බව හඳුනාගෙන තිබේ. තවද, මෙවැනි තහනම් පැනවීම් හරහා,
ඉගෙනුම් අවස්ථා අහිමි වීම
අවදානම් සහිත වෙනත් ප්ලැට්ෆෝම් භාවිතය ඉහළ යාම
සාමාජික සබඳතා බිඳවැටීම
පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වයට එල්ලවන අවදානම්
වැනි අහිතකර අතුරු ප්‍රතිඵල ඇතිවිය හැකි බවද මෙහිදී පෙන්වා දී ඇත.
ඒ අනුව, අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපයෝජනයන් (Grooming and exploitation), අහිතකර අන්තර්ගතයන්ට නිරාවරණය වීම, ඇබ්බැහි කරවන සුළු මාර්ගගත හැසිරීම් සහ මනෝවිද්‍යාත්මක ගැටලුවලට සඵලදායී ලෙස පිළියම් යෙදීම සඳහා 'බුද්ධිමත් සංයෝජනයක්' (Smart mix) නිර්දේශ කර ඇත.
එම උපාය මාර්ග අතරට,
ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම සහ දෙමාපියන් හා දරුවන් බලගැන්වීම.
මාර්ගගත ප්ලැට්ෆෝම්වල වගවීම වැඩි කිරීම සහ ඇබ්බැහි කරවන විශේෂාංග අක්‍රිය කිරීම.
'සැලසුමෙන්ම සුරක්ෂිතභාවය' (Safety-by-design) කෙරෙහි අවධානය යොමු කිරීම.
සිදුවන හානි සඳහා සඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමේ පද්ධතියක් සකස් කිරීම, වැනි කරුණු ඇතුලත් වේ.
මෙම ක්‍රියාවලියට සමගාමීව සිසුන්, අධ්‍යාපනඥයින් සහ දෙමාපියන් වෙනුවෙන් සකස් කරන ලද පාසල් මට්ටමේ කෙටුම්පත් මාර්ගෝපදේශ මාලාවක්ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.
ජාත්‍යන්තර රාමු සහ ජාතික අත්දැකීම් ඇසුරින් සකස් කර ඇති මෙම මාර්ගෝපදේශ, සුදුසු බලධාරීන්ගේ අනුමැතියෙන් පසුව පුහුණු කිරීම් සහ දිශානති වැඩසටහන්ද සමගින් දිවයින පුරා පිහිටි පාසල් වෙත ලබාදීමට නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය එරංග වීරරත්න, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ඩිජිටල් අධ්‍යාපන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

