brand logo
logo
ඩයමන්ඩ් ලීග් අවසන් සටන් හෙට ඇරැඹේ

ඩයමන්ඩ් ලීග් අවසන් සටන් හෙට ඇරැඹේ

03 September 2026


මෙම වසර ඩයමන්ඩ් ලීග් තරගමාලාවේ නිමාව සනිටුහන් කරන අවසන් මහා තරගාවලිය හෙට (4 වැනිදා) බෙල්ජියමේ බ්‍රසල්ස් හිදී ඇරැඹෙන අතර එහි තරගකරුවන් සඳහන් නම් ලැ‍යිස්තු ඊයේ (2 වැනිදා) නිකුත් කෙරුණි. තරගාවලියට මෙරටින් තරග කරන රුමේෂ් තරංගගේ ඉසව්ව වන හෙල්ල විසි කිරීම ඉසව්වට ඔහු සමගින් තරගකරුවන් 7ක් ඇතුළත් වේ.


දෙදින තරගාවලියක් ලෙස පැවැත්වෙන බ්‍රසල්ස් ඩයමන්ඩ් ලීගයට මලල ක්‍රීඩා ඉසව් 16ක් ඇතුළත් වන අතර එහිදී තරග වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට පැරිස් ඔලිම්පික් රන් පදක්කම්ලාභීන් සහ ටෝකියෝ ලෝක ශූරතා රන් පදක්කම් ලාභීන් 40කට නොඅඩු ගණනක් ඇතුළත් වීම විශේෂත්වයකි. මේ දක්වා පැවැති ඩයමන්ඩ් ලීග් අදියර 14දී ප්‍රදර්ශනය කළ දක්ෂතා සඳහා හිමිවූ ප්‍රසාද ලකුණු අනුව මෙම අවසන් මහා තරගාවලිය සඳහා තරගකරුවන් සුදුසුකම් ලැබූ අතර රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ වැඩිම ප්‍රසාද ලකුණු ලාභියා ලෙස සුදුසුකම් ලැබීය. මෙය රුමේෂ් සහභාගිවන ප්‍රථම ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගාවලිය වන අත‍ර රුමේෂ්ට පෙර මෙම අවස්ථාව ලද එකම ශ්‍රී ලාංකිකයා වන ‍යුපුන් අබේකෝන් 2022 වසරේ සූරික් හි පැවැති ඩයමන් ලීග් අවසන් මහා තරගාවලි‍යේ මිටර් 100 ඉසව්ව නියෝජනය කළේය.


මෙරට වේලාවෙන් එළැඹෙන 6 වැනිදා අලුයම පැවැත්වෙන හෙල්ල විසි කිරීම ඉසව්ව සඳහා රුමේෂ්ට අභියෝගයක් එල්ල කළ හැකි ප්‍රතිවාදීන් ලෙස 2025 ටෝකියෝ ලෝක ශූර කෙෂෝන් වොල්කොට්, ලෝක ශූරතා අනුශූර මෙන්ම ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී ඇන්ඩර්සන් පීටර්ස් ඇතුළත් වේ. ඊට අමතරව කර්ටිස් තොම්සන්, ජූලියස් යේගෝ, ඩේවිඩ් වෙග්නර් ප්‍රසාද ලකුණු ඔස්සේ ද, ටිමොති හර්මන් සත්කාරක රටෙහි නියෝජනයක් ලෙස ද සුදුසුකම් ලබා සිටිති. ප්‍රසාද ලකුණු අනුව සුදුසුකම් ලබා සිටි නමුත් ආබාධයක් හේතුවෙන් තමා සහභාගි නොවන බව නීරජ් චොප්රා ඉකුත්දා ප්‍රකාශ කළේය.

 

More News..