දුම්රිය වැඩ වර්ජනයක් අතළඟ
05 September 2026 | එෆ්. අස්ලම්
දුම්රිය වැඩ වර්ජනයක් අතළඟ
05 September 2026 | එෆ්. අස්ලම්
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එම තනතුරින් ඉවත් කරන ලෙසත්, දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳ පරිපාලනමය දැනුමක් ඇති කාර්යක්ෂම නිලධාරියකු එම තනතුර සඳහා පත්කරන ලෙසත් බලකරමින් දුම්රිය වෘත්තීය සමිති 20 ක අත්සනින් යුත් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායකට පෙරේදා (04 වැනිදා) යොමු කර තිබේ.
දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නමින් ඉදිරිපත් කර ඇති මෙම ලිපියට දුම්රිය ස්ථානාධිපති එන්ජින් රියැදුරු, මාස්ටර්වරුන්, දුම්රිය ආරක්ෂක නිලධාරි, දුම්රිය පොදු සේවක සංගමය ඇතුළු සංගම් 20 ක නායකයන් හා නියෝජිතයන් අත්සන් තබා ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමාර ජයසේකර විසින් මාධ්‍යයට සිදු කළ අනාවරණයක් මුල්කරගෙන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ඔහුගෙන් නිදහසට කරුණු විමසීම හා විනය ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ දැරීම හා එමගින් සමස්ත දුම්රිය වෘත්තීය සමිති මර්දනය කිරීමේ උත්සාහයක් ගෙන තිබෙන බවද මෙම ලිපිය මගින් අවධාරණය කර ඇත.
සාමාන්‍යාධිකාරිවරයාට දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන ව්‍යුහය, මෙහෙයුම් කළමනාකරණය හෝ මානව සම්පත් ගැන පුළුල් දැනුමක් නැති බවත් මේ නිසා දුම්රිය සේවය දිනෙන් දින කඩා වැටී දුම්රිය ගමන්වාර රැසක්ම අඩාළ වී ඇති බවත් එමගින් දහස් ගණනකට පීඩා විඳීමට සිදුව ඇති බවත් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියෙහි සඳහන් වේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ යහපත පිණිස සාමාන්‍යාධිකාරිවරයා වහාම ඉවත් කළ යුතු බවත්, එසේම ඔහු විසින් වෘත්තීය සමිති මර්දනය කිරීමේ අරමුණින් ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයාගෙන් කර ඇති නිදහසට කරුණු විමසීම කොන්දේසි විරහිතව ඉවත් කරගත යුතු බවත්, බලකර සිටින මෙම වෘත්තීය සංගම් ලබන (17 වැනිදා) ට ප්‍රථම එම ඉල්ලීම ඉටුනොවන්නේ නම් 18 වැනිදා මධ්‍යම රාත්‍රි 12 සිට පැය 48 ක වර්ජනයකට එළඹෙන බවද අනාවරණය කර ඇත. මෙම ලිපියේ පිටපත් අගමැති, ප්‍රවාහන ඇමැති, දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු පාර්ශ්ව වෙතද යොමු කර තිබේ.

