Best News Website award
brand logo
logo
සැප වැඩි නිසා  තරුණ උදවියට  හැදෙන  අමුතු ලෙඩ

සැප වැඩි නිසා තරුණ උදවියට හැදෙන අමුතු ලෙඩ

14 November 2026 | කුමුදු විජේරත්න

බොහෝ විට ලෙඩ රෝග ඇතිවන්නේ වයස්ගත වීමත් සමග යැයි සිතුවත් දැන් දැන් එම තත්ත්වය වෙනස් වී ඇති බව හැඟේ. බොහෝ විට වත්මන් තරුණ පරපුර හදිසි හෘදයාබාධවලින් පවා මිය යන පුවත් අසන්නට දකින්නට ලැබේ. මේ තත්ත්වයට හේතු කාරණා වී ඇත්තේ දෛනික ආහාරපාන රටාවන් ඇවතුම් පැවතුම් ක්‍රියාකාරකම් නිසා බවද කිව හැකිය. මේ නිසාම තරුණ පරපුරටත් වැලඳිය හැකි එවැනි ලෙඩ රෝග කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීමට අපි සිතුවෙමු.


1) බෙල්ල පිටුපස වේදනාව හෙවත් මණ්‍යාස්ථම්භ

එකම ඉරියව්වකින් වාඩි වී පරිගණකය ආශ්‍රිතව රැකියා කරන බහුතරයක් දෙනාට මෙම බෙල්ල පසුපස වේදනාව සුලභව දක්නට ලැබේ. නොනැවතී කල්ගතවත්ම එම වේදනාව අත් දෙක ඔස්සේද විහිදී යාමක් ඇති වේ. මෙය මුල් අවස්ථාවේදී යම් කිසි අපහසුවක් ඇති කළද නොසලකා හැරීම තුළින් එය බෙල්ලෙහි අස්ථි සහ කාටිලේජවල පිහිටීම කෙරෙහිද බලපෑමෙන් දීර්ඝකාලීන බෙල්ලේ වේදනාව ඇති විය හැකිය. එය වේදනාකාරී වන අතර බෙල්ලේ සිට දෑත් කරා ගමන් කරන ස්නායු කෙරෙහිද බලපෑමෙන් එනම් ඒවා තෙරපීමෙන් අත්වල හිරිය, වේදනාව, ඇඟිලිවල හිරිය, එසවීමේ අපහසුව ආදිය ඇතිවිය හැකියි. මෙම තත්ත්වය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම සහ නිවැරැදි වූ ව්‍යායාම ක්‍රම තුළින් මෙම තත්ත්වය සුව කර ගැනීමේ හැකියාව පවතී.

එකම ඉරියව්වකින් වැඩ කිරීම තුළින් බෙල්ල දෙපස සහ උරහිස සන්ධිය දෙපස ඇති මාංශ පේශීන් තදවීම මුලින්ම ඇතිවන අතර එය මූලික අවස්ථාවේදීම කරනු ලබන සම්බාහනය මගින් නිවැරැදි කරගත හැකියි. එසේ නොමැති වූ කල මෙලෙස තදවන මාංස පේශී සහ ඛණ්ඩරා බෙල්ලෙහි අස්ථිවලට බලපෑමෙන් ඒවායේ පිහිටීමෙහි යම් යම් වෙනස්කම් ඇති කළ හැක. ඒ තුළින් බෙල්ලෙහි අස්ථි ව්‍යුහය වෙනස් වී ස්නායු තද වී දීර්ඝකාලීන සහ නොනවතින දැඩි වේදනාවක් වුවද හටගත හැක. එබැවින් පරිගණක ආශ්‍රිත මෙන්ම ලේඛන කටයුතු වැඩි වශයෙන් කරන පුද්ගලයන් දින දෙකකට වරක්වත් මද උණුසුම් ඖෂධීය තෙල් වර්ගයකින් හෝ එසේ නොමැති අවස්ථාවලදී තල තෙල්වලින් හෝ මද උණුසුමින් මෘදුව බෙල්ල දෙපස සහ උරහිස අසල ඇති විශාල මාංශ පේශිය සම්බාහනය කිරීමත් මෘදුව තැබීමත් කළ යුතුයි. මීට අමතරව බෙල්ල සඳහා වන සරල ව්‍යායාම කිහිපයක් දිනය අවසානයේ වැඩ අවසන් කරන විට කරන්නේ නම් එයද මේ සඳහා ප්‍රයෝජනවත් වේ.


2) කොන්ද ආශ්‍රිත වේදනාව

සුව පහසු අසුන්වල දීර්ඝ කාලයක් රැඳෙමින් රැකියා කරන පුද්ගලයන්ට මෙන්ම බර ඔසවන රැකියා කරන පුද්ගලයන්ටද, රියැදුරන් වැනි නිතර ගැස්සෙමින් වාහනවල දුර ගමන් කරන පුද්ගලයන්ටද ඇතිවන සුලභ තත්ත්වයක් ලෙස මෙම කොන්දේ වේදනාව දැක ගත හැක. අද සමාජයේ මෙවැනි රැකියාවල නියුතු තරුණ පරපුර අතර සුලබව දක්නට හැකි මෙම රෝග තත්ත්වය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම තුළින් එය වළක්වා ගැනීම වැදගත් වේ. නිවැරැදි වූ සෘජු ඉරියව්වෙන් වාඩිවීමට දැනුවත් වීමත්, බර එසවීමේදී නිවැරැදි ඉරියව් භාවිත කිරීමටත් මෙහිදී දැනුවත් විය යුතුය. මෙලෙස නිවැරැදි ක්‍රම අනුගමනය කිරීම තුළින් රෝගය ඇතිවීම වැළැක්වීම මෙන්ම ඇති වූ රෝග තත්ත්වය යථා තත්ත්වයට පත්කරගැනීමටත් හැකිය.

මෙම කොන්ද ආශ්‍රිත වේදනාව කොන්ද සාදන කුඩා අස්ථිවලට බලපෑමෙන් ඒවායෙහි පිහිටීම්වල වෙනස්කම් හට ගැනීම කාලයත් සමග දැක ගත හැකි වේ. එහිදී ඒවා අතරින් ගමන් කරන ස්නායු කෙරෙහිද මෙය බලපෑම තුළින් පාද ඔස්සේ ගමන් කරන වේදනාව, හිරිය සහ දැවිල්ල ආදිය ඇති විය හැකියි. මේ තත්ත්වය ගුද්‍රසි ලෙස හඳුන්වන අතර අද සමාජයේ ඉතා සුලභ තත්ත්වයක් වේ. මේ සඳහා නිවැරැදි ව්‍යායාමවල නිරතවීම වැදගත්ය.

තද පෘෂ්ඨයක් මත නිදා ගැනීම වැනි උපක්‍රම මගින් මුල් අවස්ථාවේදී සුව කරගත හැකි වන අතර කල් ගතවත්ම කළ යුතු ප්‍රතිකාරද සංකීර්ණ වන බැවින් දැනුවත් වීම තුළින් මුල් අවස්ථාවේදීම අදාළ ප්‍රතිකාර යෙදීම වැදගත් වෙයි. එහිදී වේදනානාශක, ස්නායු පෝෂණය කරන තෙල් වර්ගයක් (නිර්ගුණ්ඩි, ශූලහර) අභ්‍යංගකර මද උණුසුම් ඖෂධීය වාෂ්පවලින් හෝ තැවිලි පොට්ටනිවලින් තැවීම මගින් සුවයක් ලබාගත හැකි වේ.


3) අක්මාවේ තෙල්

මෙය ඉතා සුලභ වූ රෝග තත්වයක් වේ. අක්මාවේ මේදය තැන්පත් වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවේ. මේ නිසා අක්මාවේ ස්වරූපය මෙන්ම ක්‍රියාකාරීත්වයද වෙනස් වීම සිදුවේ. මේ සඳහා ප්‍රධානතම හේතුව ලෙස ආහාර රටාව සහ විහරණ රටාව හේතු වන බව හඳුනාගෙන ඇත. මෙහි මූලික අවස්ථාවේ දී කිසිදු රෝග ලක්ෂණයක් දක්නට නොලැබීම අවාසි සහගත තත්ත්වයක් බැවින් මෙම රෝගය මුල් අවස්ථාවේ හඳුනාගැනීම මගහැරී යා හැකියි.

නමුත් පසු අවස්ථාවලදී මෙම තත්ත්වය හානිකර වන අතර ඖෂධ මගින්ද යථා තත්ත්වයට පත් කරගත නොහැකි වන බැවින් මේ පිළිබඳව දැනුවත් වීම අතිශයින් වැදගත් වේ. මේ සඳහා ප්‍රධාන හේතුව වනුයේ අප ගන්නා ආහාර නිසි ලෙස වැය නොවීම නිසා ඒවා අක්මාවේ තැන්පත් වීමයි. උදාහරණ ලෙස ස්ථූලතාවය ඇතිවීමේදී සිදුවන ආකාරයෙන් අප විසින් ගනු ලබන ආහාරවල අතිරික්තය මේදය වශයෙන් අක්මාවෙහි තැන්පත් වෙයි. මෙය scan පරීක්ෂණයක් හෝ රුධිර පරීක්ෂණයක් මගින් හඳුනාගත හැකියි. එම තැන්පත් ප්‍රමාණය අනුව මෙම රෝග තත්ත්වය කාණ්ඩවලට වෙන් කරනු ලබයි. මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම තුළින් මෙය යථා තත්ත්වයට පත් කර ගත හැකියි. මෙය පාලනය කර නොගැනීම තුළින් සිරෝසිස් වැනි තත්වයන් පවා පසුකාලීනව ඇතිවේ.

මේ සඳහා ආහාර රටාව වෙනස් කර ගැනීම අතිශයින් වැදගත්වේ. ශරීරයට ලබාගන්නා ශක්තිය නිසි ව්‍යායාම තුළින් දහනය කිරීමත්, නිවැරැදි ශරීර බර පවත්වාගෙන යාමත්, මෙහිදී අතිශයින් වැදගත්ය. එසේම අප පිටතින් ගනු ලබන විෂ සහිත ආහාරවල විෂ හරණය කිරීම අක්මාව මගින් කරන බැවින් කෘත්‍රිම ආහාරපාන අවම වශයෙන් භාවිත කිරීමත්, පිෂ්ටය සහ මේද පදාර්ථ බහුල ආහාර අවම කිරීමත් මේ සඳහා වැදගත් වේ. ඊට අමතරව අක්මාවේ විෂහරණ ක්‍රියාවලිය දියුණු කර අක්මාව ශක්තිමත් කිරීම සඳහා හඳුනාගත් දේශීය ඖෂධ වර්ග භාවිත කිරීම ඉතා වැදගත්ය. ඒවා අතරින් මොනර කුඩුම්බිය ශාකයෙන් සාදාගන්නා කැඳ වර්ග, යකිනාරං කොළ කැඳ, හීං බෝවිටියා කොළ කැඳ ආදිය අඛණ්ඩව මාස කිහිපයක් භාවිත කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිය. ඊට අමතරව පිටවක්කා, බින් කොහොඹ ආදී දේශීය ඖෂධ සතු මෙම අක්මාව නිරෝගී කිරීමේ හැකියාව නිසා එම ශාක සම්පූර්ණයෙන් තම්බා බීම තුළින්ද ප්‍රතිඵල ගත හැක.


4) අත්ල හිරි වැටීම

නිතර ලේඛන කටයුතුවල යෙදෙන පුද්ගලයන් හට, ගුරුවරුන්, කාර්යාල සේවකයන්, පරිගණක නිතර භාවිත කරන පුද්ගලයන් සහ රියැදුරන් හට මෙම අත්ල හිරිවැටීමේ තත්ත්වය නිතර දැක ගත හැකිය. මෙහිදී අත්ලේ ඇතිවන වේදනාව, හිරිය සහ අධි සංවේදීතාවය යන ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් දැක ගත හැකියි.

 මැණික්කටු සන්ධිය ආශ්‍රිතව ඇති අස්ථිවලින් සෑදුණු මාර්ගයක් තුළින් අත්ලෙහි ඇඟිලි කරා යන ස්නායුවලින් එකක් ගමන් කරන අතර එමඟින් අතෙහි මාපට ඇඟිල්ල සහ ඒ සමගම ඇති අනික් ඇඟිලි දෙකට සහ තුන්වන ඇඟිල්ලේ අඩක් සඳහා සංවේදන සපයනු ලබයි. නමුත් විවිධ වූ හේතූ නිසා මෙම ස්නායුව මැණික් කටු සන්ධියේ අස්ථිවලින් සෑදුණු කුහරය (CarpalTunnel) තුළින් ගමන් කිරීමේදී යම්කිසි තෙරපීමකට ලක් වේ. මේ හේතුවෙන් ඉහත කී ඇඟිලිවල හිරිය සහ වේදනාව ඇතිවෙයි. මෙම තත්ත්වය බොහෝ දුරට ඇතිවනුයේ මැණික් කටු සන්ධිය නිතර නිතර භාවිත කරන ඉහත කී රැකියාවල නියුතු වූවන්ට වන අතර එම මැණික් කටු සන්ධියේ ඇතිවන ප්‍රධාහ තත්ත්වය නිසා ස්නායුව තෙරපීමෙන් මෙසේ සිදුවේ.

ඊට අමතරව ස්ථූලතාවය, ගර්භණීභාවය, සමහර සන්ධි රෝග(Arthritis), සන්ධියට සිදුවන අභිගාත ආදිය ද මේ සඳහා හේතු විය හැකිය. මෙම තත්ත්වයද මුල් අවස්ථාවේදී ප්‍රතිකාර කිරීම තුළින් ඉතා පහසුවෙන් සුව කර ගත හැකි වන අතර කල් යත්ම තත්ත්වය වඩා සංකීර්ණ වේ. මේ සඳහා ඖෂධීය තෙල් වර්ගයක් (සීතෝදක තෙල්, මීතෙල්) ගැල්වීම හෝ පුළුල්වල පොඟවා පැය අටක් දහයක් පමණ බැඳ තැබීම කළ හැකියි. එමෙන්ම ඖෂධීය ද්‍රව්‍යවලින් තැවීම, මැණික් කටු සංධියට කරනු ලබන නිවැරැදි ව්‍යායාමවලින්ද  නිවැරැදි ඉරියව්ව පවත්වාගැනීමෙන්ද  සහනයක් ගත හැකිය. මෙලෙස මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කළ හැකි නමුත් එලෙස ප්‍රතිඵලයක් නොලැබේ නම් ළඟම ඇති රජයේ ආයුර්වේද රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීම වඩා සුදුසුයි.


ආයුර්වේද වෛද්‍ය නිලංකා පතිරණ

 

More News..