රිදී තිරයට මුවා වී විකුණන සිනමා කාමරවල කතාව
14 November 2026 | බියංකා නානායක්කාර
රිදී තිරයට මුවා වී විකුණන සිනමා කාමරවල කතාව
14 November 2026 | බියංකා නානායක්කාර
නිල් චිත්‍රපට රැල්ලක්වී ලාංකේය සමාජය ආක්‍රමණය කළේ 90 දශකයේය. එදවස කොළඹ හා ඒ අවට මරදාන, බොරැල්ල, පිටකොටුව වැනි ප්‍රදේශවල කුඩා කාමර සහ පහළ පෙළේ සිනමාහල් තුළ මේවා මුදලට පෙන්වීම ව්‍යාපාරික මට්ටමින් සිදුවන්නට ගත්තේය. මේ තත්ත්වය විශාල රැල්ලක් වෙද්දී චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය එවකට චිත්‍රපට සංස්ථාවේ සිටි සභාපතිවරයාට මේ සම්බන්ධයෙන් දන්වා ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියහ. එවකට චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වූයේ ධර්මසේන පතිරාජය. ඔහු සංස්ථා පාලනාධිකාරයේ සිටි ප්‍රධානීන් හා එක්ව පොලිස් විශේෂ වැටලීම් ඒකකයේ සහය ලබාගෙන ඒ රැල්ල අවසන් කළේය. එහිදී 1971 අංක 47 දරන ජාතික චිත්‍රපට සංස්ථා පනත සහ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත තදින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් 2000 දශකය වන විට කොළඹ නගරයේ පවත්වාගෙන ගිය ඒ සිනමා කාමර සහ අසභ්‍ය සිනමා සංස්කෘතිය සම්පූර්ණයෙන් ඉවත් කරන්නට හැකි විය.
මේ ගෙවෙන්නේ ඒ සිදුවීම අවසන්ව 26 වැනි අවුරුද්දය. එදා සිදුවීම හා සමානව සිදුවීමක් අදත් සිනමාවට, සමාජයට, බාල පරපුරට හානිකරමින් කොළඹ හා ලංකාව පුරාම ක්‍රියාත්මක වෙන්නට පටන්ගෙන ඇත. ඒ ද නීති විරෝධීව හා නියාමනයකින් තොරව චිත්‍රපට පෙන්වන බැව් කියා ක්‍රියාත්මක වන සිනමා කාමර සංකල්පයකි. මේ කාමරවල චිත්‍රපට පෙන්වන බැව් සඳහන් කර තිබුණද ඒවා සිනමාහලක් ලෙස මහජන ප්‍රදර්ශනයට බලපත්‍ර ලබාගෙන නැත. කුඩා ගොඩනැගිලිවල, සාප්පු සංකීර්ණවල උඩ තට්ටු හෝ නිවාස කොටස් කුඩා කාමර ලෙස වෙන්කර සකසා ඇති මේවායේ විශාල LED හෝ LCD තිරයක් හෝ ප්රොජෙක්ටරයක්ද, ශබ්ද පද්ධතියක්ද ඇත. චිත්‍රපටය නැරඹීමට කුලියට දෙනු ලබන්නේ ජෝඩුවකටය. නියාමනයක් හෝ ලියාපදිංචියක් නැති, සිනමාහලක් ලෙස බලපත්‍ර ලබාගෙන නැති ජාතික චිත්‍රපට සංස්ථාවට හෝ පළාත් පාලන ආයතනවලට අදාළ බදු මුදල් ගෙවන්නේ නැති මේ සිනමා කාමර තුළ කලාවට හා සිනමාවට මුවා වී රහසිගත ජාවාරම්ද සිදුවන බව කියයි.
‘‘අපි මේ වෙනකොට මෙවැනි නීති විරෝධී ලෙස චිත්‍රපට පෙන්වන බව කියන කාමර 61ක් ගැන තොරතුරු චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාට ලබාදීලා තිබෙනවා.’’
චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ රැකව කියන්නේ මේ සම්බන්ධව ක්‍රියාත්මක වී අනීතික ලෙස පෙන්වන ‘සිනමා’ කතන්දරයට තිත තබන්නට නම් චිත්‍රපට සංස්ථාවට ඒ තොරතුරු ප්‍රමාණවත් බවයි.
‘‘ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් මහජන ප්‍රදර්ශනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. නීති රාමුවක් තියෙනවා. ඒ අනුව තමයි සිනමාකරුවන් ක්‍රියාකරන්නේ. දැන් මේ අනීතික කාමරවල චිත්‍රපට පෙන්වනවා කියලා ප්‍රදර්ශනය කරගෙන වෙන කරුණුත් කෙරෙනවා. ඒකට ක්‍රියා කරන්න නම් පොලිසිය සහ වෙන ආයතන ඇති.ඒත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරද්දී මහජනතාවට දෙන ටිකට් අපට අනුමත කරන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවෙන්. චිත්‍රපට ලබාදෙන්නේ චිත්‍රපට මහජනතාවට පෙන්වනවානම් රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමත කරලයි. චිත්‍රපට සංස්ථාව හරහා තමයි සිනමා ශාලාවලට චිත්‍රපට ලබාදෙන්නේ. එතකොට චිත්‍රපට මහජනතාවට පෙන්වනවාට ගෙවන බදු තිබෙනවා. එක බද්දක් තමයි විනෝද බද්ද. ගෙවන්නේ පළාතේ නගර සභාවට හෝ අදාළ ආයතනයට වැට් බද්දක් කියන එකත් ගෙවනවා. ජාතික චිත්‍රපට සංස්ථාවට ගෙවන ‘ලෙවි’ එකක් (මුදලක්) හැම ටිකට් පතකින්ම චිත්‍රපට සංස්ථාවට යනවා. ඔය ලෙවි එක ගැසට් කරපු එකක්. ඊට අමතරව බෙදාහැරීම් ගාස්තු තියෙනවා. චිත්‍රපටයේ අයිතිකරුට වෙනම ගෙවනවා. චිත්‍රපටයක් අපි හෝල් එකක ප්‍රදර්ශනය කරද්දී චිත්‍රපටයේ අයිතිකරුට ගෙවන කොටසක් තියෙනවා. ඒ ගෙවලා තමයි අපි මහජනතාවට ප්‍රදර්ශනය කරන්නේ. මේ නීතිවලට අනුව ඒ බදු නොගෙවා කිසිම කෙනකුට හිතුමතේ චිත්‍රපටයක් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්න බෑ.ඒ නීතියට පිටින් යනවා නම් පළාත් පාලන ආයතනය හෝ නගර සභාවෙන් අදාළ ප්‍රාදේශීය සභාවලින් මේවා වටලන්න ඕනේ. ඇයි ඔවුන් අදාළ බදු ගෙවන්නේ නැති හින්දා. ඊළඟට ජාතික චිත්‍රපට සංස්ථාවේ නීතියටත් පටහැනිව තමයි මේවා ක්‍රියා කරන්නේ. ඒ නිසා ඒ කට්ටියත් ඒක නවත්වන්න ඕනේ. මෑත කාලවල චිත්‍රපට ශාලාවල පෙන්වන චිත්‍රපටත් මේ ගොල්ලෝ එක එක සයිට්වලින් බාගත කරගෙන පෙන්වන්න පටන් අරන් තියෙනවා. එතකොට මේ ගොල්ලෝ බදු වංචා කරනවා. වගේම චිත්‍රපට මහජන ප්‍රදර්ශනය කරන නීතිය මුළුමනින්ම අනීතික කරන ක්‍රියාවක් කරන්නේ... ඊට අමතරව චිත්‍රපට අයිතිකරුවන්ගේ අයිතියත් මේගොල්ලෝ හොරා කාලා තියෙන්නේ.
කුඩා කාමර සංකල්පය තුළ වුවද මහජනයා සඳහා චිත්‍රපට පෙන්වන්නේ නම් චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපතිවරයා කියන්නා සේ ‘හිතුමතයේ’ කිසිදු චිත්‍රපටයක් පෙන්විය හැකි නොවේ. ඊට හේතුව ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් මහජන ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදය හා පටිපාටිය 1971 අංක 47 දරන ජාතික චිත්‍රපට සංස්ථා පනත සහ මහජන ප්‍රදර්ශන ආඥා පනත මගින් නීත්‍යනුකූලව බලගන්වා ඇති නිසාය. ඒ නිසා මෙම පනත් සහ නීතිමය ප්‍රතිපත්තිවලට අනුව චිත්‍රපටයක් මහජනයාට ප්‍රදර්ශනය කිරීමේ නිල ක්‍රමවේදයක් ඇත.
ඕනෑම චිත්‍රපටයක් මහජන ප්‍රදර්ශනයට පෙර ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්යය. එහිදී චිත්‍රපටයේ අඩංගු තේමාවන්, දර්ශන හා දෙබස් පරීක්ෂා කර සමාජ සදාචාරයට, ජාතික ආරක්ෂාවට හෝ නීතියට පටහැනි නොවන බව තහවුරු වීමෙන් මණ්ඩලය විසින් චිත්‍රපටය වර්ගීකරණය කරයි. ඒ සාමාන්‍ය ප්‍රදර්ශනයට සුදුසු හෝ 18+ වැඩිහිටියන්ට පමණයි ලෙසිනි. ප්‍රදර්ශනය සඳහා නිල සහතික නිකුත් කරනු ලබන්නේ ඉන්පසුවය. එකී සහතිකය නොමැතිව කිසිදු ස්ථානයක මහජනතාවට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම නීති විරෝධි වේ.
එසේම ජාතික චිත්‍රපට සංස්ථා පනතට අනුව ලංකාවේ චිත්‍රපට ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම සහ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන නියාමකයා වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවටයි.
මේ පනත අනුව චිත්‍රපටයක් මහජනයාගෙන් ටිකට් පත් හෝ මුදල් අයකර පෙන්විය හැක්කේ ලියාපදිංචි වූ ස්ථානවල පමණය. එහිදී සිනමාහල පිහිටි අදාළ නගර සභාව, මහ නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව මගින් මහජන ප්‍රදර්ශන ස්ථානයක් ලෙස ලබාගන්නා පරිශ්‍ර බලපත්‍රය, ගිනි ආරක්ෂක, හදිසි පිටවීම්, සනීපාරක්ෂක පහසුකම් සහ වාතාශ්‍රය පිළිබඳ පරීක්ෂණ අනුමත වීම්ද සිදුවිය යුතුය. අවසානයේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය වීමකින් ලබන ආදායමෙන් අදාළ පළාත් පාලන ආයතන වෙත විනෝදාස්වාද බදු ගෙවිය යුතුය. ජාතික චිත්‍රපට සංස්ථා පනතේ එසේ තිබියදී තනි පුද්ගලයකුට, දෙන්නකුට හෝ කාමර තුළ පවත්වාගෙන යනු ලබන සිනමාහලක් ලෙස පෙන්වා චිත්‍රපට පෙන්වීමත් නීති විරෝධීය. එතැනට චිත්‍රපටය එන්නේද පනතට අනුව නීත්‍යනුකූලව නොවේ. ඔවුන්ට ඒ සඳහා චිත්‍රපට හොයාගන්න දැන් පහසු ක්‍රමවේද ඇත.
‘‘මෑත කාලවල චිත්‍රපට ශාලාවල පෙන්වන චිත්‍රපටත් මේ ගොල්ලෝ එක එක වෙබ් අඩවිවලින් බාගත කරගෙන පෙන්වන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම නෙට්ෆ්ලික්ස් එකෙනුත් මොවුන් චිත්‍රපට බාගත කරගන්නවා. නෙට්ෆ්ලික්ස් එකෙන් එහෙම ආවට ගියාට චිත්‍රපට බාගත කරන්න බෑ. ඔවුන්ටත් නීති රීති තියෙනවා. ඒක සබ්ස්ක්‍රයිබ් කරලා තමන්ට විතරක් බලන්න පුළුවන්. එහෙම තනි පුද්ගලයකුට බලන්න දුන්නම ඒක අරන් මහජනතාවට පෙන්වන එක වැරදියි. දැන් තියෙන ගැටලුව තමයි ඉන්ටර්නෙට් එක හරහා ඕන දෙයක් කෙනකුට බාගත කරගන්න පුළුවන් වීම. එහෙම බාගත කරගෙන තමයි මේ අය කාමරවල පෙන්වන්න චිත්‍රපට හොයාගන්නේ. ඔය කාණ්ඩය අවුරුදු 17, 18 අයයි. ඔය අය කීපදෙනෙක් අපි හොයාගත්තා. අනුන්ගේ චිත්‍රපටයක් බාගත කරලා පෙන්වද්දී කොපි රයිට්ස් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒත් ඒවා කිසි දෙයක් ක්‍රියාත්මක නෑ. කොළඹ, කඩුවෙල, නුගේගොඩ වගේ පැතිවල තමයි ඔය කාමර ව්‍යාප්ත වෙලා තියෙන්නේ. සොයාගත්තු 61ට අමතර තව ඇති. අපි ඒවාත් හොයමින් සිටින්නේ. මේ කාමර ඒවායේ ප්‍රයෝජන ගන්නට ප්‍රසිද්ධ කරන්නේ සමාජ මාධ්‍යයේ. මේවා ගොඩනැගිල්ලක පළමු හෝ දෙවැනි තට්ටුවේ තමයි දාන්නේ. සමහර ඒවා චිත්‍රපට පෙන්වනවා කියලාම දාලා තියෙනවා. තව දානවා කොම්පියුටර් ගේම් කරන්න පුළුවන් කියලා. මේ තැන්වලට වැඩියෙන් එන්නේ ජෝඩු. ජෝඩු ඇවිත් මොනවා කළත් අපට කමක් නෑ. හැබැයි අනීතික විදිහට චිත්‍රපට පෙන්වන එකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. එක කොටසක් ඉන්නවා ලංකාවේ ලොකු වියදමක් දරලා සියලු නීතිරීතිවලට යටත්ව චිත්‍රපට පෙන්වනවා. තව කට්ටියක් ඉන්නවා ඒ කිසිම වියදමක් නැතිව චිත්‍රපට පෙන්වනවා. මේ අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. මේ වෙද්දී අපේ සාමාජිකයන් විවිධ පැතිවලින් ලිපි දහයකට දොළහකට වඩා සංස්ථා සභාපතිවරයාට යවලා තියෙනවා. සංස්ථාව දැනගන්න ඕන ‘‘නීතිය ක්රියාවේ යොදවන්න.’’
අනුරාධ රැකව කියන්නේ එදා නිල් චිත්‍රපට රැල්ල කාමර සංකල්පයෙන් සමාජය ආක්‍රමණය කරද්දී සංස්ථාවේ සභාපතිවරයා මැදිහත්ව ඒ ප්රශ්නය නිරාකරණය කළා සේම මේ සිනමා කාමර රැල්ල නැති කරන්නට පුළුවන් වන්නේද වගකීම් ඇත්තේද ජාතික චිත්‍රපට සංස්ථාවට බවයි.’’
මේ සිනමා කාමර සමාජය ආක්‍රමණය කොට වැඩි කාලයක් නැත. මේ පිළිබඳව ගවේෂණය කළ සිනමා ප්‍රදර්ශකයන්ගේ සංගමය කියන්නේ මේ තත්ත්වය ඇතිවූයේ මාස හයක අවුරුද්දක වැනි කාලයක් අතරතුර බවයි. කොළඹ පමණක් නොව මේ වනවිට එය හැම නගරයකටම ව්‍යාප්ත වී ඇත්තේ ඔවුන්ට නීතිමය ප්‍රශ්නයක් මේ වනතුරුත් කොතැනකින් හෝ නැති නිසාය.
‘‘අපට ප්‍රශ්නයක් නෑ. ඕනෑම නගරයක සිනමා ශාලා ඇති කළාට නීතිමය රාමුව ඇතුළේ සහ ඒ ප්‍රමිතිගත නීතිරීතිවලට යටත් වෙලා. එතකොට මේ ෆිල්ම් පෙන්වන කාමර කියන ඒවත් මේ නීතිරීතිවලට අදාළ බදු මුදල්වලට යටත් වෙන්න ඕන. මොකද මේ කාමර පවත්වාගෙන යන්න ඔවුන් විකුණන්නේ සිනමාව. චිත්‍රපටය. අන්න ඒ නිසයි අපි මේ කාමර සංකල්පයට විරුද්ධ. චිත්‍රපට පෙන්වනවා කියලා වරකට ජෝඩුවකට තමයි කාමර දෙන්නේ. ඒ ඇතුළේ මොනවා සිද්ධවෙනවද කියන එකත් අපි දන්නේ නෑ.
අපේ සිනමා ශාලාවලත් ජෝඩුවලට චිත්‍රපට බලන්න BOX සංකල්පය තිබුණා. හැබැයි ඒවා සිනමා ශාලාවට විවෘතයි. ශාලාවේ ඉන්න අනිත් අයටත් ඒ ‘බොක්ස්’ පේනවා. සිනමා ශාලා ඇතුළේ බොක්ස් පවත්වාගෙන ගියේ නීත්‍යනුකූලව. නමුත් මේ කියන සිනමා කාමර අතිශය පෞද්ගලිකයි. මේවා තවමත් නීතියෙන් වැටලීම් කරලා නෑ. එහෙම වැටලීම් කරන්න පොලිසියට පැමිණිල්ලක් එන්න ඕන. ඒ පැමිණිල්ල පොලිසියට කරන්න ඕන ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිගේ අනුදැනුම මතයි. අපි මේවා ගැන හෙව්වට, වැටලීම් කරන්න පැමිණිලි කරන්න අපට අයිතියක් නෑ. අපි මේ කාමර පිළිබඳ දැනට ඇති සියලු තොරතුරු ලබාදීලත් සංස්ථාව ඒකට පියවරක් ගන්නේ නෑ. නිද්‍රාශීලී ගතියක් පෙන්වන්නේ. සංස්ථාව නිහඬව හිටියට මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න සංස්ථාවට නීතිමය බලයක් තියෙනවා. අපි කියන්නේ පොලිසියේ සහය අරගෙන මේ චිත්‍රපට පෙන්වීමේ මුවාවෙන් පවත්වාගෙන යන සිනමා ශාලාවලට නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි.’’
චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ ලේකම් අනුර ජසෙන්තුලියන කියන්නේ ‘‘මේ සිනමා කාමර සඳහා නීතිය ක්‍රියාත්මක නොකිරීම සිනමාවට කරන ලොකුම අගතියක්’’ බවයි.
මේ කතාවේ අවසන් චෝදනාව එල්ල වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවටය. ඒ ඔවුන් සාක්ෂි සමග සංස්ථාවේ සභාපතිවරයා දැනුවත් කර ඇති අනීතික සිනමා කාමර පිළිබඳ තවමත් නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැනයි.
එකී ප්රශ්නය විමසන්නට දුරකතන ඇමැතුමට සම්බන්ධ කරගත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව ඊට දුන් උත්තරය මෙයයි.
‘‘මේ මොහොතේ මට ඔය ලිපියට අදහස් දක්වන්න අමාරුයි. ඔය සිනමා කාමර හිමියන් හා මා අතර හමුවක් තියෙනවා ඉදිරි දිනයක. මං ඊට පස්සේ මේ ගැන ලිපියක් දෙන්නම්.’’
සභාපතිවරයාගෙන් මේ ලැබුණු උත්තරයේ සංස්ථාව සිනමා කාමර හිමියන්ට නීතිය ක්‍රියාත්මක කිරීම තවත් දුර බවට ඉඟියක්ද තිබුණේය.
නමුත් ජාතිත චිත්‍රපට සංස්ථා පනත සහ මහජන ප්‍රදර්ශන ආඥා පනතට අනුව නම් ඇත්තේ ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩල සහතිකය නොමැතිව ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුමැතියෙන් තොරව ප්‍රදර්ශන බලපත් නොමැති ස්ථානවල මුදල් අය කරමින් මහජනතාව රැස්කර චිත්‍රපට පෙන්වීම දණ්ඩ නීති වරදක් බවයි.


