අසීමිත ආසාවල් පසුපස නොයනවානම් රංගනය හොඳ වෘත්තියක්
10 September 2026 | ලක්ෂාන් ජයසූරිය
අසීමිත ආසාවල් පසුපස නොයනවානම් රංගනය හොඳ වෘත්තියක්
10 September 2026 | ලක්ෂාන් ජයසූරිය
බැද්දේගම ටෙලි නාට්‍ය ගැන පුංචි තිරය නරඹන ප්‍රේක්ෂකයන් අතර මේ දවස්වල උණුසුම් කතාබහක් ඇතිවෙලා තියනවා. නිම්මි මනෝහාරි බැද්දේගම ටෙලි නාට්‍යයේ එතනා හාමිගේ චරිතයෙන් කරන රංගනයත් බැද්දේගම ප්‍රේක්ෂකයන් අතර උණුසුම් වෙන්න බලපාලා තියනවා.
බැද්දේගම නවකතාව නිම්මි කියවලා තියනවද?
ප්‍රියන්ත කොළඹගේ මහත්තයා මාව බැද්දේගම ටෙලි නාට්‍යය වෙනුවෙන් තෝරගනිද්දි ඔහු නිර්දේශ කළා බැද්දේගම නවකතාව මට කියවන්න කියලා. ඉතින් මම බැද්දේගම නවකතාව කියවලයි ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන බැද්දේගම ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. හැබැයි මම නවකතාව කියවන්න අවුරුදු ගාණකට කලින් ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කරපු බැද්දේගම චිත්‍රපටයත් නැරඹුවා.
බැද්දේගම නවකතාව ඇසුරෙන් නිර්මාණය වන බැද්දේගම ටෙලි නාට්‍යයට නිම්මිට සම්බන්ධවෙන්න ලැබීම ගැන හැඟීම මොකක්ද?
20 වැනි සියවසේ මුල් භාගයේ (1900–1911) කාල වකවානුවේ හම්බන්තොට ගමක ගැමියන් මුහුණ දුන්න අඩන්තේට්ටම්, දුප්පත්කම, ආදරය, ලිංගිකත්වය, මිනිස් සම්බන්ධතා සහ ස්වභාව ධර්මය සමග කරන අරගලය වැනි දේවල් අපූරුවට බැද්දේගම නවකතාව හරහා කියනවා. මේ නවකතාව කියවනකොට මට දැනුණෙ අමුතු හැඟීමක්. ඉතින් ඒ නිසයි මම බැද්දේගම ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. මට බැද්දේගම හරහා සෞම්‍ය ලියනගේ, මාදනී මල්වත්ත, ප්‍රියංකර රත්නායක, රෙබෙකා දිල්රුක්ෂි, උමාලි තිලකරත්න, අකලංක ප්‍රභාෂ්වර, චරිත් මදුරංග ඇතුළු දක්ෂ නළුනිළියො එක්ක රඟපාන්න ලැබුණා.
නිම්මිගෙන් වෙනදා නොදකින රංගන ශෛලියක් බැද්දේගම තුළින් දකින්න පුළුවන්...
බැද්දේගම ටෙලි නාට්‍යය තුළ මම රඟපාන එතනා හාමිගේ චරිතයත් නවකතාවේ අන්තර්ගත චරිතයක් නෙමෙයි. ප්‍රේක්ෂකයන්ට වෙනස් රසාස්වාදයක් ලබාදීම වෙනුවෙනුයි මම රඟපාන එතනා හාමිගේ චරිතය අධ්‍යක්ෂවරයා ටෙලි නාට්‍යයට එකතු කළේ.
පොතක් ඇසුරෙන් ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් නිර්මාණය කරද්දි ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ලබාදෙන්න සමහර වෙලාවට පොතේ සඳහන් දේ වෙනස් කිරීම හෝ අලුතින් දේවල් එකතු කිරීම සිද්ධවෙනවා. ඉතින් බැද්දේගම ටෙලි නාට්‍යයේදි සමහර සිදුවීම් සහ චරිත, නවකතාවට වඩා වෙනස් ස්වරූපයක් අරගෙන තියනවා. 20 වැනි සියවසේ තරුණ කාන්තාවන් ජන ජීවිතය ගතකරන ආකාරය, ප්‍රේම සම්බන්ධතා පවත්වන විදිහ, ආදරය තුළ රාගික හැඟීම් ප්‍රකාශ කරන විදිහ වැනි දේවල් එතනා හාමිගේ චරිතය හරහා මම ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරනවා. බැද්දේගම ටෙලි නාට්‍යයේ එතනා හාමිගේ චරිතය හරහා මේ තාක් මම රඟපාපු නැති විදිහෙ රංග පරාසයක රංගනයක් මට කරන්න අවස්ථාව ලැබුණා.
නිතර රඟපාන රංග පරාසයෙන් ඈත්වෙලා වෙනස් රංග පරාසයකට යන්න තීරණය කෙරුවෙ ඇයි?
නළුවෙක් හෝ නිළියක් වුණාම එකම සීමාවකට කොටුවෙන්නෙ නැතුව සීමා මායිම්වලින් එහාට ගිහින් රඟපාන්න පුළුවන් වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මම නිතර රඟපාන චරිතවලට වඩා එහාට ගිය ආදරය, රාගය, පවුල් ජීවිතය වැනි දේවල් ඉදිරිපත් කරන චරිතයක් බැද්දේගම හරහා රඟපාන්න තීරණය කළා. හැබැයි බැද්දේගම තුළ මම රඟපාන එතනා හාමිගේ චරිතය තුළින් මගේ පෞද්ගලික ප්‍රතිරූපයට කැළැලක්, අගෞරවයක් වෙන රංගනයක් ඉදිරිපත්කරලා නැහැ. වෘත්තීය නිළියක් මට්ටමින් පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් රංගනයකුයි මම බැද්දේගම ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරලා තියෙන්නෙ.
බැද්දේගම රංගනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
බැද්දේගම ටෙලි නාට්‍යයේ එතනා හාමිගේ චරිතය දකින හැමෝම කියන්නෙ ඒක මම මේතාක් මම කරපු වෙනස්ම විදිහෙ රංගනයක් කියලා. එතනා හාමිගේ චරිතය සම්බන්ධයෙන් මේ තාක් මට විවේචන නම් ලැබිලා නැහැ.
රූගතකිරීම් කරන්නෙ කොහෙද?
රූගතකිරීම් කරන්නෙ රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයේ සහ තිස්සමහාරාම ආශ්‍රිත කෑලෑවල. රූගතකිරීම් කරන අතරතුරේදි අපිට වැස්සෙන් සෑහෙන්න කරදර ඇතිවුණා. ඉතින් කැලෑවල නොතෙමී ඉන්න තැනක් නැති හින්දා කැලෑවල කූඩාරම් ගහගෙන ඉඳලයි අපි රූගතකිරීම් කෙරුවෙ. කැලෑවල තියන කටු ඇනිලා අපිට තුවාල වුණ අවස්ථා ඕන තරම් තියනවා. හැබැයි රූගතකිරීම්වලට දිගටම ඉන්නකොට අපිට ඒ දේවල් සාමාන්‍ය අත්දැකීම් වුණා.
නිම්මිගේ රංගන ජීවිතයට පවුලේ අයගේ බලපෑමක් නැද්ද?
අනේ නැහැ. සංචාරක රැකියා ක්ෂේත්‍රයෙන් ඉවත්වෙලා රංගන ක්ෂේත්‍රයට එනකොට පවුලෙ අය මට මුකුත් කිව්වෙ නැහැ. රඟපාන දේවල් සම්බන්ධයෙනුත් පවුලේ අය මට නිදහස දීලා තියනවා. එයාලා දන්නවා හරි දේ තෝරගන්න දැනුමක් මට තියනවා කියලා.
නිම්මිගේ දැන් එකම වෘත්තිය වෙලා තියෙන්නෙ රංගනයද ?
ඔව්. මම දැන් වෘත්තීය රංගන ශිල්පිනියක්. පූර්ණකාලීනවයි මම රංගනයේ නිරත වෙන්නේ.
රඟපාලා ජීවත් වෙන්න පුළුවන්ද?
අනෙක් වෘත්තීන්වලින් වගේම රංගනය මුදල් උපයන්න පුළුවන් සාමාන්‍ය වෘත්තියක් කියලයි මම හිතන්නෙ. රංගනයෙන් හම්බෙන මුදලින් විතරක් දරුපවුල් ජීවත් කරගෙන යානවාහන දේපළ ඉඩකඩම් අරගෙන ජීවිතය ගොඩනගාගත්ත පුද්ගලයෝ රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා. අසීමිත ආසාවල් පස්සෙ පන්නන්නෙ නැතුව උපයන මුදල් කළමනාකාරණයක් ඇතුව වියහියදම් කළොත් රංගන වෘත්තියෙන් හොඳ ජීවිතයක් ගෙවන්න පුළුවන්.

