ලාෆ් ගෑස් එන්නෙම නැති හැඩ
31 October 2026 | අනීෂා මානගේ
ලාෆ් ගෑස් එන්නෙම නැති හැඩ
31 October 2026 | අනීෂා මානගේ
මේ දවස්වල සමාජ මාධ්යයේ වැඩිපුර සංසරණය වන පෝස්ටුවක් දුටිමි. මේ පෝස්ටුව හදා ඇත්තේ ගිය මැතිවරණ වේදිකාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ගිරිය කඩාගෙන ‘නැගිටපල්ලා... නැගිටපල්ලා..’ යනුවෙන් කී උද්වේගීකර වචනය උපහාසයට ලක් කරමින් බවට සැක නැත. ඒ දවස අනුර කුමාර දිසානායක ඇතුළු මාලිමාවේ දේශපාලනඥයන් ඒ සමගම ගෑස් පෝලිම් ගැන කතා කළේ එය ආණ්ඩුවේ නොහැකියාවක් බව කියමිනි. ගෑස් නැවක් ඒම ප්රවෘත්තියක් වන්නේ කෙසේදැයි එකල අනුර කුමාර දිසානායක ඇසුවේය. දෛවයේ සමරදමකට මෙන් මාලිමා රජය යටතේ ගිය සතියේද එවැනි පුවතක් පත්තරයක පළ වී තිබිණි. ඒ, බගවන්තලාවට ගෑස් ඇවිත් බවය. බගවන්තලාවේ පමණක් නොව, රට පුරාම ඇත්තේ ගෑස් හිඟයකි. ඒ නිසා ගෑස් පෝලිම්ය.
සිවු වසරකට පෙරදී අපේ රටට කෝඩුකාර වූ පෝලිම් දැන් අපට ආගන්තුක නොවේ. එදා ආණ්ඩුවේ රැස් බිඳින්නට විපක්ෂයේ සටන් පාඨයේ කිරුළ දැරුවේ පෝලිම්ය. පෝලිම් යුගය ඉන්තේරුවෙන්ම අහවර කරනවා යැයි බලයට පත් ආණ්ඩුවේ උදවිය දැන් ඉන්නේ පැලැස්තර අලවාගෙනය. ඒ මන්ද යත් දැන් යළිදු වාරයක් අපේ උදවියට ගෑස් පෝලිමකට වී වරු, දවස් ගණන් කල්ගත කරන්නට සිද්ධ වී ඇති නිසාය. ඈත ක්ෂිතිජය පසුකරගෙන ගෑස් නැවක් එනතුරු මග බලමින් මහ මුහුද දෙස බලා ඉන්නට උන්ට සිද්ධ වී ඇති නිසාය.
රටේ කොයි හතරදික්බාගෙටත් වඩා ගෑස් ප්රශ්නයෙන් වැඩිපුර බැට කන්නේ බස්නාහිර පළාතේ උදවියය. ඒ මන්ද යත් දර කෑල්ලක් හෝ හොයාගන්නට බස්නාහිර උදවියට හත්අඩිය පාගන්නට වෙන හින්දාය. හැරත් කොළඹ වැඩිපුර ඇත්තේ මහල් නිවාසය. පැල්පත්ය. ඒවායේ දර ළිපක් පත්තු කිරීම කෙසේ වෙතත් ගෙදර උදවියටවත් ඈදි ගන්නට හෝ හරිහමන් තැනක් නැත. දර දුම යන්නට වා කවුළුවක් කෙසේ වෙතත් හුස්ම ගන්නට නම් ගෙයින් එළියට බහින්නම ඕනෑය. එහෙව් ගෙවල්වල වෙසෙන උදවියට දර කෑල්ලකින් හෝ කිසිදු පිළිසරණක් නැත.
ගෑස් නැති ප්රශ්නයෙන් බැට කන ගම්වල උදවියටත් මේ දවස්වල වැහි දෙයියන්ගෙන් එල්ල වෙන්නේ තර්ජනය. ඒ කාලේ නම් ගෙවල්වල හිතේ හැටියට ගන්නට අතේ දුරින් දර මැස්සක් තිබුණේය. වැහි කාලේ ඵල ප්රයෝජන ගන්නට දර ළිපට උඩින් බැඳි දුම් මැස්සේ සති දෙක තුනකට සරිලන්නට දර තිබුණේය. දැන් කාලේ ගෙවල්වල දර මැහි කළුනිකය. දර මැහි පමණක් නොවේ දර ළිප් ද එසේය. දර ළිපෙන් ගෑස් ළිපට මාරු වුණ උදවිය ගෑස් ටැංකියේ පණ ගිය විට කළේ හන්දියේ ගෑස් කඩයට දුරකතන ඇමතුමක් දී ඩිලිවරි ක්රමයට ගෑස් ටැංකියක් ගෙන්වා ගැනීමය. ඒත් දැන් මේ දවස්වල සිරිලක බොහෝ හන්දිවල ගෑස් කඩයේ ජංගම දුරකතනය වැඩ නැත. ගෑස් කඩය ඉදිරිපිට අලවා ඇත්තේ “ගෑස් නැත” යනුවෙන් ලියූ බෝඩ් කැබැල්ලක් ය. වෙනදා ගෑස් පෙන්නූ කඩේ මුදලාලිට මේ දවස්වල කටඋත්තර නැත.
තංගල්ලට ගෑස් එනතුරු බලා සිටි සුසිත කුමාර ත්රිරෝද රථ රියැදුරෙකි. ත්රීවීල් රස්සාව පසෙක තබා ඔහු මේ දවස්වල දවස ගෙවා දමන්නේ ගෑස් සිලින්ඩරයක් මිලදී ගත හැකි තැනක් සොයමිනි.
“ගෙදර ගෑස් ඉවර වුණ හින්දා දවස් ගාණක්ම වැඩත් පාඩු කරගෙන තැන් තැන්වලට ගිහින් බැලුවා. හැමතැනම ගෑස් නෑ කියල බෝඩ් දාල විතරයි. ගෑස් එන පාටක් නෑ....” සුසිත කියන්නේය.
ලිට්රෝ ගෑස් හිඟයෙන් රටේ උදවිය දැන් පාරට වැටුණාට ලාෆ් ගෑස් නැත්තේ හත් අට මාසයක සිටය. එදා ඉඳන් ලාෆ් ගෑස්වලින් කෑම පිසූ උදවිය ආණ්ඩුවෙන් විසඳුමක් ඉල්ලුවත් ඉන් ඵලක් වූයේ නැත. කහ පැහැති ගෑස් ටැංකිය ඇති උදවිය වැඩි මිලට හෝ නිල් ගෑස් ටැංකියක් සොයාගත්තේ බැරිම තැනය. අලුතින් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට නොමැති වීම ඊළඟ ගැටලුවය. මේ කිසිදු ක්රමයකින් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් සොයාගන්නට නොහැකි වූ උදවිය දැන් කබලෙන් ළිපට වැටිලාය. ලාෆ් ගෑස් මිලදී ගත් උදවියද ලිට්රෝ ගෑස් මිලදී ගැනීම ලිට්රෝ ගෑස් හිඟයටද හේතුවක් වුණේය. මන්ද යත් වෙළෙදපොළ අවශ්යතාවෙන් සියයට අසූවක් ලිට්රෝ ගෑස්වලින් සපිරෙද්දි ඉතිරි සියයට විස්ස සම්පූර්ණ කෙරුණේ ලාෆ් ගෑස්වලින් වීම නිසාය. ලිට්රෝ ගෑස්වල මාසික සැපයුම ටොන් තිස් තුන්දහසක් වෙද්දි ලාෆ් ගෑස් ටොන් හය හත්දහසක අවශ්යතාවක් රටේ ඇත්තේය. ඒත් කලට වේලාවට ලාෆ් ගෑස් සැපයුම නැති වෙද්දි අපේ උදවිය ලාෆ් අතහැර වෙනතක් බලාගත්හ. ඔවුහු ලිට්රෝ වෙතට හැරුණහ. වෙළෙඳපොළ සමතුලිතතාවට ඉන් බාධා ආවේය. ලිට්රෝ ගෑස් ඉල්ලුම ඉහළ ගියේය. අවසානයේ වූයේ ගෑස් සිලින්ඩර දෙලක්ෂ පනස් දහසක් - තුන් ලක්ෂයත් අතර ප්රමාණයක හිඟයක් ඇති වීමය. මේ ගැන අදහස් දක්වමින් කැබිනට් මාධ්ය ප්රකාශක සෞඛ්ය හා ජනමාධ්ය ඇමැති නලින්ද ජයතිස්ස කීවේ ලිට්රෝ සමාගම දිනකට ගෑස් සිලින්ඩර හැත්තෑ පන්දහසක් පමණ නිකුත් කරන බවය. එහෙත් ලාෆ් ගෑස් හිඟය හේතුවෙන් ඇති වූ බලපෑම පියවන්නට ලිට්රෝ ගෑස් සැපයුම සියයට විසිපහකින් ඉහළ දැමූ බවය. ඒ අනුව දිනකට ගෑස් සිලින්ඩර අනූදහසත් ලක්ෂයත් අතර ප්රමාණයක් දක්වා වැඩි කරමින් නිකුත් කරන බවද ඔහු කීවේය. ලාෆ් ගෑස් වෙනුවට ලිට්රෝ ගෑස් නිකුත් කිරීම ඉහළ දැමුවැයි කීවද ලිට්රෝ ගෑස් සිලින්ඩර නැති උදවියට ඒවා මිලදී ගන්නට බැරිය. ලාෆ් ගෑස් ඇති උදවිය කලක පටන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළහ. ඒ, ලාෆ් ගෑස් සිලින්ඩරය වෙනුවට ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් දෙන්නැයි කියාය. ඒත් තවමත් ඒ උදවියට විසඳුමක් ලැබුණේ නැත. ගෑස් හිඟය ගැන පැවැති මාධ්ය සාකච්ඡාවකට සහභාගී වූ කැබිනට් මාධ්ය ප්රකාශක නලින්ද ජයතිස්සගෙන් මේ ගැටලුව ගැන විමසූ විට ඔහුගෙන්ද එයට හරිහමන් පිළිතුරක් ලැබුණේ නැත.
ඇමැති එහෙම කියද්දි ඉඳහිට පැමිණෙන ගෑස් ලොරි ගැන ආරංචියට අපේ උදවිය දිවා රෑ නොබලා ගෑස් පෝලිම්වල කල් ගෙව්වහ. ගමේ හන්දියට ගෑස් ලොරියක් ආ විට එය වැලි කතරට දිය පොදක් වන් වුණේය. ඒවා ප්රවෘත්ති බවට පෙරළුණේය. මේ ලිපියේ පෙර කී නුවරඑළියේ, බගවන්තලාවට ගෑස් ආ බව එක කතාවක් පමණි.
නුවරඑළිය දිස්ත්රික්කයේ ගෑස් මිලදී ගන්නා පාරිභෝගිකයන් පමණක් නොවේ ගෑස් අලෙවි නියෝජිතයන්ද මේ දිනවල සිටින්නේ එල්ලෙන්නට පිඳුරු ගහක්වත් නැතිවය. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ලාෆ් ගෑස් සමාගම නුවරඑළිය, හැටන්, මස්කෙළිය, තලවකැලේ, ආදී ප්රදේශවලට ගෑස් තොග නිකුත් කර නැති බව ඔවුන් කියන කතාවය. ලාෆ් ගෑස් අලෙවි නියෝජිතකම ගන්නට අති විශාල මුදලක් වැය කළද ඒවායින් දැන් කිසිදු ප්රයෝජනයක් නැති බව ඔවුහු කියන්නෝය.
“මේ වතුවල දුප්පත් මිනිස්සු ඉන්නෙ. ත්රීවීල් එකක දාගෙන සිලින්ඩරේ අරන් ඇවිත් ගෑස් ඉල්ලලා අපිට කරදර කරනවා. ඒ මිනිස්සු අමතරව රුපියල් එක්දහස් පන්සීයක් දෙදාහක් වියදම් කරන්න ඕන වීල්වලට. ලාෆ් ගෑස් නැත්නම් සිලින්ඩරේ අරගෙන සල්ලි හරි දෙන්න කියනවා. ඒව අපිට කරන්න පුළුවන් වැඩ නෙවෙයිනෙ” මස්කෙළියේ වෙළෙඳසල් හිමියෙක් කීවේය.
ගෑස් සිලින්ඩරය සොයමින් ගම් දනව් සිසාරා ඇවිද යාමට ලේසි පහසුවෙන් කළ නොහැකි වැඩක්ය. යතුරුපැදියක පටවා ගෙන යෑමද අතුරේ යනවා වාගේ වැඩක්ය. පහුගිය දොහෙක රත්නපුරේ කාන්තාවක් රුපියල් හයදාස් ගාණක් තුන්රියකට ගෙවාගෙන ගෑස් සිලින්ඩරයක් සොයමින් නගරයක් පාසා ගොස් තිබුණේ අබ මිටක් සොයා ගිය පටාචාරා වාගේය.
ලිට්රෝ හෝ ලාෆ් ගෑස් නැතැයි කියා ගෙදර පුංචි එවුන්ට කුසගින්නේ ඉන්න දෙන්නට පුළුවන්කමක් නැත. භූමිතෙල් ළිපක් හෝ නැතිනම් ගල් ගෙඩි තුනක් එක්කහු කරගෙන බැන්ද දර ළිපකින් බතක් මාළුවක් පිස ගන්නට දර කෑල්ලක් සොයා ගැනීම අභියෝගයක්ය. ගමක වුවද දැන් බොහෝ උදවිය ජීවත් වෙන්නේ පර්චස් හයේ හතේ කෑලිවලය. ඒ ගෙවල්වල දර කෑල්ලක් කෙසේ වෙතත් මල් පැළයක්වත් නැතුවාට සැක නැත. හැරත් කඩින් කඩ ඇදහැලෙන වරුසාවේ දර සොයා ඇවිදිනවා බොරුය.
දරත් නැති, ගෑසුත් නැති උදවිය දැන් අලුත් තාලයට මාළු පිනි උයාගන්නේ රයිස් කුකරයේය. රයිස් කුකරයේ උයන්නට ඇත්තේ බත් පමණක් වුණාට බත ඉදෙන්නට මත්තෙන් පරිප්පු හොද්දක් හෝ සාදාගෙන පුංචි එවුන්ගේ කුස පුරවන්නේ තුන්වේලටම කඩෙන් කන්නට බැරි හින්දාය. ගිය සතියේ රටම අඳුරට වැටුණු දා බොහෝ උදවිය සිටියේ කුසගින්නේය. කඩින් කඩ විදුලිය අතුරුදන් වෙද්දි ඒ ගෙවල්වල පුංචි එවුන්ට රජ මඟුල් ය. කලට වේලාවට උයා පිහා ගන්නට බැරිකමින් පාසල් රැගෙන යන්නට මාළු පිනි නැත. ඉදින් එදාට උන් ගෙදරය.
ගෑස් නැති ප්රශ්නය දැන් අපේ රටේ ස්ථිර ජාතික ප්රශ්නයක් වී හමාරය. කලින් කලට මතුවෙන ජාතික ගෑස් ප්රශ්නයට අපේ උදවිය ස්ථිර විසඳුම් සොයන්නට පටන් ගෙනය. බස්, කෝච්චි කාලසටහන් දැනගන්නට සේම ගම්වදින වල් අලි යන එන තැන් බලාගන්නට වට්ස්ඇප් ගෘප් සාදන්නා සේ ගෑස් ටැංකි ගෙනෙන ඉසව් ගැන ආරංචි කරන්නේ වට්ස්ඇප් ගෘප් හදාගෙනය. ගෑස් ලොරියක් ආ සැණින් වට්ස්ඇප් ගෘෘපයට එන පණිවුඩයට ළඟ පාත උදවිය පෝලිම් ගැසෙන්නේ ප්රාණ සම ගෑස් ටැංකියත් දෝතින් දරාගෙනය. නුවර පාර, පස්යාලේ ගෑස් කඩයකට ළඟදී දිනෙක ගෑස් ලොරියක් ආවේය. ඒ බව පස්යාල ගමේ ගෑස් සොයන උදවියගෙන් සමන්විත වට්ස්ඇප් ගෘෘපයට පණිවුඩය පැමිණ තිබුණේය. ගෑස් ලොරිය පැමිණ හෝරාවක් යන්නට මත්තෙන් ලොරියම හිස් විය.
රක්වාන නගරයටද ඉකුත් බදාදා ගෑස් ලොරියක් ආවේය. මේ බව දැනගත් ගම්මු මහ වරුසාව මැද්දේ වැල නොකැඩී දිවගොස් තිබුණේ ගෑස් ටැංකිය පපුවට තුරුලු කරගෙනය.
ගෑස් ලොරි ගැන විපරම් කරන උදවිය වට්ස්ඇප් ගෲප් පමණක් නොවේ ෆේස්බුක් ගෘෘප්ද දැන් හදාගෙනය. ‘ගෑස් සොයන්නන්ගේ සංගමය’ එහෙම එකක්ය. ඒවායේ සිටින්නේ ගෑස් ටැංකි හොයන උදවිය පමණක් නොවේ. කල දුටු කල වළ ඉහගන්නා උදවියගෙන්ද මේවා පිරිලාය. පිරිසක් මේවායේ වෙනමම බිස්නස් එකකය. ගෑස් සිලින්ඩර අලෙවි කරන්නට ඇති බව කියා මේවායේ පෝස්ට් පළවෙන්නේය. රටේ කිසිදු තැනක ලාෆ් ගෑස් සිලින්ඩරයක් සොයාගන්නට නැතත් ඉකුත් බදාදා මේ ගෲප් එකේ නම් කිලෝග්රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් විසිදහසක අධික මිලකට අලෙවි කරන්නට දමා තිබුණේය. එහි සඳහන් දුරකතන අංකයට ලියුම්කාරිය ඇමතුමක් ගත්තෙමි. ඇමතුමේ අනෙක් පසින් පිළිතුරු දුන්නේ ගැහැනු කටහඬකි.
“මේ කතා කරන්නෙ ගෑස් එක ගන්න කෙනෙක්ද?” ඇය මගෙන් විමසුවාය.
“ඔව්. කොහෙද ගෑස් එක තියෙන්නෙ..? මරදානට ඩිලිවරි කරන්න පුළුවන්ද?”
“මහරගම තියෙන්නෙ. ඩිලිවරි කරන්න නම් බෑ මිස්. අපිට ඇවිත් ආයෙ හැරිලා යන්න වුණොත් අපරාදෙනෙ. මිස්ලට කලින් සල්ලි ඩිපොසිට් කරන්නත් අමාරුයි නේද. එහෙම කරනවා නම් එවන්න පුළුවන්..” ඈ මගේ ප්රශ්නයට පිළිතුරු දුන්නාය.
ඇගේ යෝජනාවට එකඟ වූ මා ඇගෙන් බැංකු ගිණුම් අංකයක්ද ඉල්ලා සිටියෙමි. එයට එකඟ වූ ඈ දුරකතන ඇමතුම විසන්ධි කළ වහාම කෙටි පණිවුඩයක් ඔස්සේ බැංකු ගිණුම් අංකයක් මට එවා තිබිණි. මගෙන් ප්රතිචාරයක් නැති තැන ඈ දිගින් දිගටම දුරකතන ඇමතුම් ගත්තාය. කිහිප දෙනකුම මේ ගෑස් සිලින්ඩරය මිලදී ගන්නට දුරකතන ඇමතුම් දී තිබුණත් ගෑස් සිලින්ඩරය ලැබුණේදැයි දන්නේ නැත.
සාමාන්යයෙන් මුදල් හදිසියකට උකස් කරන්නේ කන කර දෑය. විකුණනවා නම් වටිනා කියන දේපළ වතුපිටිය. ඒත් මේ දිනවල මුදල් හදිසියටත් ගෑස් සිලින්ඩර විකුණන්නට පටන් ගෙනය. මුදල් හදිසියට විකුණා දමන්නට තරම් කුස්සියේ ගෑස් සිලින්ඩරයට වටිනාකමක් ලැබිලාය. හිස් ගෑස් සිලින්ඩර අලෙවි කෙරෙන්නේ රුපියල් දස දහසත් විසිදහසත් අතර මිල ගණන්වලටය. ඒවායේ මිල හරියට රත්තරන් ගෑ ගෑස් සිලින්ඩර වාගේය.
දැන් දැන් ගෑස් පෝලිම් ඇත්තේ කඩ ඉදිරිපිට පමණක් නොවේ. ගෑස් පෝලිමේ වරු ගණන් ගත කරන්නට බැරි උදවිය ඔන්ලයින් ක්රමයට පෝලිමට වී මග බලා සිටින්නෝය. ගෙදර ගෑස් සිලින්ඩරය අහවර වූ යෙහෙළියක කීවේ ලිට්රෝ ගෑස් සමාගමේ වෙබ් අඩවියෙන් ගෑස් සිලින්ඩරයකට ඇණවුමක් දමා පිළිතුරක් ලැබෙනතුරු මග බලා සිටින බවය.
යළි කලඑළි බැස්ස ගෑස් පෝලිම් ප්රශ්නයට හේතු හැටියට හිටපු ඇමැති පාඨලී චම්පික රණවක කීවේ ලාෆ් ගෑස් සමාගමට ඇමරිකාවෙන් සම්බාධකයක් පනවා ඇති බවය.
“අනුර කුමාර මහත්තයාගේ හිතවත්ම ව්යාපාරිකයා ලාෆ් ගෑස් සමාගම මිලදී ගත්තා. ඉරානයෙන් ගෑස් ගත්තා කියලා මේ සමාගමට ඇමරිකාවෙන් සම්බාධකයක් පනවල තියෙනවා. ඒත් අනුර කුමාර මහත්තයා මේක ඉවත් කරගන්න මොනම ආකාරයකින්වත් ක්රියා කරන්නෙ නෑ, ඒ නිසා අපේ ගෑස් වෙළෙඳපොළේ සීයට විස්සක ගෑස් ප්රමාණයක් සපයා ගන්න බැරිවෙලා...”
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ඉල්ලීමට ලිට්රෝ සමාගම එරට ගෑස් සමාගමකින් ගෑස් මිලදී ගත්තද ටෙන්ඩර් කොන්දේසි සම්පූර්ණ කරන්නට නොහැකි වීම ගෑස් අර්බුදයට හේතුව බව හිටපු ඇමැති පාඨලී හෙළි කළේය. මේ ටෙන්ඩර් කොන්දේසියට අනුව කුඩා නැව් හතරකින් ගෑස් සැපයීමට වුවමනාය. ඒත් මේ සමාගමට ඇතැයි කියන්නේ නැව් තුනක් විතරය. රට්ටුන්ට වුවමනා හැටියට ගෑස් නැතැයි කියන්නේ මේ නිසාය.
ඒ කතා කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු අධිකාරිය ලාෆ් ගෑස් සමාගමට ගිය සතියේ නඩු පැවරුවේ පාරිභෝගික වගකීම පැහැර හැරීමේ වරදටය. නඩු පැවරුවත් ලාෆ් ගෑස් ප්රශ්නයට විසඳුමක් පේන දුරක නැති බව පැහැදිලිය.

