අල්ලස් කොමිසමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විරෝධය
21 May 2025 | ඉෂාර රත්නකාර
අල්ලස් කොමිසමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විරෝධය
21 May 2025 | ඉෂාර රත්නකාර
දූෂණ විරෝධී පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක කැඳවීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කරමින් දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි එම කැඳවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසමට ඊයේ (20 වැනිදා) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ නඩුව මෝසමක් මාර්ගයෙන් ඊයේ (20 වැනිදා) දහවල් කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සියලුම නීතිඥවරු සමග ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරු වන රියන්සි අර්සකුලරත්න, නලින්ද්‍ර ඉන්ද්‍රතිස්ස, රොනල්ඩ් පෙරේරා සමගින් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස දීර්ඝ ලෙස දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක ප්‍රකාශයක් ලබාදීමට කැඳවීම සම්බන්ධයෙන් ලබන ජූනි 3 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියෝග කළාය.
කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ (රථවාහන අධිකරණයේ) රාජකාරි කළ දැනට අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින පොලිස් සැරයන් නුවර පක්ෂ සරත් ප්‍රේමලාල්ට (49497) එරෙහි නඩුවක් අල්ලස් කොමිසම මගින් අධිකරණය හමුවේ පවත්වාගෙන යනු ලබයි. අල්ලස් වශයෙන් ගල් අරක්කු බෝතලයක් ලබාගැනීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව පවරා තිබිණි.
එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අබ්දූල් රහීම් යන අයට දිවුරුම් ප්‍රකාශයක් සකස් කර දී ඇති අතර එම දිවුරුම් ප්‍රකාශය සකස් කරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය බවත්, ඒ සඳහා මෙම මස 15 වැනිදා උදෑසන 10 ට අල්ලස් කොමිෂන් සභාවේ වැටලීම් විමර්ශන අංක 3 හි පෙනී සිටින ලෙසට දන්වමින් එහි ස්ථානාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක වෙත මෙම මස 6 වැනිදා ලිඛිතව දැනුම් දී තිබිණි.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක එලෙස ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසම වෙත කැඳවීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විරෝධතාව පළ කරමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස කියා සිටියේ යම් නීතිඥවරයකු හා සේවාදායකයකු අතර පවතින වරප්‍රසාද සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකින් තොරව වෙනත් කිසිදු පාර්ශ්වයකට ප්‍රශ්න කළ නොහැකි බවයි.
අධිකරණය හමුවේ තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මෙසේද පැවැසීය.
‘‘යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් එය අධිකරණය මගින් විසඳා ගත යුතුයි. මෙය සෘජුවම වෘත්තීය ආචාර ධර්ම පිළිබඳ ප්‍රශ්නයක්. අල්ලස් කොමිසමේ නිලධාරී මහතා කුමන හේතුවක් මත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකව ප්‍රකාශයක් ලබාගැනීමට කැඳවූවාද කියන්න අපි දන්නේ නැහැ.
මෙවැනි ආකාරයකට නීතිඥවරයකුට ප්‍රකාශයක් දෙන්න කියලා කැඳවීමක් කිරීමට හැකියාවක් නැහැ. අල්ලස් කොමිසමෙන් පසුව ලිපියක් යොමුකර තිබෙනවා දැනට එන්න අවශ්‍ය නැහැ කියලා. ඒක නෙමෙයි තිබෙන ප්‍රශ්නේ. අල්ලස් කොමිසම මගින් කරන ලද මුල් කැඳවීම තමයි ප්‍රශ්නේ.’’
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකට ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් කොමිසම වෙත කැඳවීම (මුල් අවස්ථාවේ කරන ලද කැඳවීම) සම්බන්ධයෙන් ලබන මස 3 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළාය.
අධිකරණය හමුවේ ගොනු කරන ලද මෝසමට අනුව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස කරුණු ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී නීතිඥවරුන් 100 කට අධික පිරිසක් එම පාර්ශ්වය වෙනුවෙන් විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිනු දක්නට ලැබිණි.
අධිකරණයේ පෙනී සිටින්නැයි අල්ලස් කොමිසමට නියෝග