brand logo
logo
ගීත නිර්මාණවලට අදාළ බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

ගීත නිර්මාණවලට අදාළ බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

13 October 2026


ගීතවල කර්තෘභාග අයකිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගනිමින්, ගීත නිර්මාණවලට අදාළ සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) තීරණය කර තිබේ.


නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ සියලු පාර්ශ්වවල අභිලාෂ සැලකිල්ලට ගන්නා නීතිමය රාමුවක් සකස් කිරීමට තමන් බැඳී සිටින බවය.


එමෙන්ම, මාධ්‍ය හමුවලදී සිදුකළ යම් ප්‍රකාශයක් හේතුවෙන් කිසියම් පාර්ශ්වයක සිත් රිදීමක් හෝ අපහසුතාවක් ඇති වූයේ නම් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බව ද සංගමය සඳහන් කරයි.


ගීතයක අයිතිය සහ කර්තෘභාග ගෙවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කලකට පසු සමාජය තුළ යළිත් දැඩි කතාබහක් ඇති වූයේ ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය ඉදිරිපත් කළ අදහස් හේතුවෙනි.


ඒ සමඟම කලා ක්ෂේත්‍රයේ ගායන ශිල්පීන් සහ ගීත නිර්මාණකරුවන් අතර ද මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය විය.


මෙම තත්ත්වය හමුවේ සංගමය යළිත් නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි මාතෘකාව ලෙස සඳහන් කර ඇත්තේ “ACPOSL ආයතනය සිය කර්තෘභාග ගාස්තු ක්‍රමවේදය යළි සමාලෝචනය කරයි” යන්නයි.


එම නිවේදනයේ දැක්වෙන්නේ විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සහ අදහස් සංගමය සාවධානව පිළිගන්නා බවය.


ඒ අනුව, එම අදහස් සැලකිල්ලට ගනිමින් 2026 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීම දක්වා සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ACPOSL අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.


මෙම තාවකාලික අත්හිටුවීම සංගමයේ නෛතික ස්ථාවරයට අගතියක් නොවන පරිදි සිදුකරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.


තවද, ඉදිරිපත් වී ඇති කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත බලපත්‍ර රාමුව සහ ඊට අදාළ ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ විධිමත් සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට ද ACPOSL සංගමය පියවර ගනු ඇත.


පූර්ණ විනිවිදභාවයකින් යුත් ක්‍රියාවලියක් අනුගමනය කරමින් සියලු පාර්ශ්වවල අභිලාෂ සැලකිල්ලට ගන්නා නීතිමය රාමුවක් සකස් කිරීමට තමන් කැපවී සිටින බව ද සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..