brand logo
logo
පොත් ප්‍රදර්ශනයේ පසු කතාවක්

පොත් ප්‍රදර්ශනයේ පසු කතාවක්

05 October 2026


1999 අවුරුද්ද වන විට අපේ රටේ පොත් කර්මාන්තය තිබුණේ (ව්‍යවහාර භාෂාවෙන් කියන්නේ නම්) "හාන්සි වෙලාය". එකල නවකතාවකින්වත් පිටපත් දාහක් අලෙවි කරගැනීමට බැරි යැයි කර්තෘවරු, ප්‍රකාශකයෝ හා වෙළෙන්දෝ මැසිවිලි කීවෝය. එහෙයින් බොහෝ පොත් සාප්පු, පොත් නැති, ලිපිද්‍රව්‍ය විකුණන කඩ බවට පරිවර්තනය වූයේය.


ඒ අතරේ ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ සංගමය ඒ අවුරුද්දේ සැප්තැම්බරයේදී කොළඹ, කලාභවනේ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වූයේය. එය ඊළඟ අවුරුද්දේද එතැනම පැවැත්වුණේය. මේ දෑවුරුද්දේ ලැබූ සාර්ථකත්වය සමග ප්‍රකාශයන්ගේ සංගමය 2001 දී විශාල පිම්මක් පැන්නේ පොත් ප්‍රදර්ශනය BMICH නමින් ප්‍රසිද්ධ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේ පවත්වන්නට සමර්ථ වූයේය.


1976 දී නොබැඳි ජාතීන්ගේ සම්මේලනය පවත්වමින් ඇරඹුණු BMICH හි 2001 දක්වා අනේක විධ රැස්වීම්, සම්මන්ත්‍රණ, සාකච්ඡා, දේශන, උත්සව හා ප්‍රදර්ශන පැවැත්වී තිබේ. අදටත් එසේම පැවැත්වේ. එහෙත් දැන් නම් BMICH කී විට අපේ රටේ මිනිස්සුන්ගේ මතකයට එන්නේ සැප්තැම්බරයේදී ඇරඹෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නොහොත් "බුක් ෆෙයා(ර්)" මිස අනෙකක් නොවේ.


මේ පොත් ප්‍රදර්ශනයෙන් ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ සංගමය අපේ රටට ලොකු පාඩමක් ඉගැන්නුවේය. එය ඔවුන් දැනුවත්ව කළ දෙයක්ද අහම්බයෙන් විසිකළ ගලක් ඉලක්කයට වැදීමක්දැයි තර්ක කරන්නට මෙතැන නොතැනය. කෙසේවුවත් ඔවුන්ගේ මේ පියවර මෙරට පොත් කර්මාන්තයේ දැවැන්ත පෙරළියක් කළේය.


ඔවුන් එය කළේ BMICH පොත් ප්‍රදර්ශනයට පැමිණීම මෝස්තරයක් බවට පත් කිරීමෙනි. ඒ සමග සැප්තැම්බරයේ එහි පැමිණ පොත් මිලදී ගැනීම රටේ අලුත්ම විලාසිතාව බවට පෙරළුණේය. එය පෙන්නුම් කළේ ව්‍යවසායකත්වයට රටක කළ හැකි පෙරළියයි.


අනතුරුව ලේඛකයෝ BMICH පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන පොත් ලියන්නට පටන් ගත්තෝය. ගොඩ රුපියලට පොත් ලිවීම දැඩි ලෙස විවේචනයට ලක්වෙද්දී ඒ විවේචකයන්ට නොපෙනුණ කාරණයක්ද තිබුණේය. ඒ,මේ දේවල් සිද්ද වෙන්නේ පොත් ප්‍රදර්ශනයේ සාර්ථකත්වය නිසා බවය.


පොත් ප්‍රදර්ශනය ඇඳුම් මෝස්තර ප්‍රදර්ශනයක් බවට පත්වීම, ප්‍රධාන පරමාර්ථය පොත් ගැනීම නොව ක්ෂණික නූඩ්ල්ස් කෑම බවට පත්වීම, පොත් වෙනුවෙන් නොව ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් පැමිණෙන ගමනක් බවට පත්වීම සම්බන්ධයෙන් එදා පටන් අද දක්වා අපවාද හා අපහාස එල්ල කෙරෙයි. මේ අවුරුද්දේ කීපදෙනෙක්ම සමාජ මාධ්‍යවලින් කියා තිබුණේ දැන් පොත් ප්‍රදර්ශනයට අඩු මාරක ළිඳේ සයිකල් ධාවනය හා කතුරුඔංචිල්ලාව පමණක් බවය. ඒ කතාවේද ඇත්තක් තිබේ.


ඒ සැප්තැම්බර් මාසයේ BMICH හි පැවැත්වෙන්නේ සැණකෙළියක් බැවිනි. 1956 මොරටුවේ බෞද්ධ මන්දිරයේ පැවැති ශ්‍රී ලංකාවේ පළමුවැනි පොත් ප්‍රදර්ශනයේ පටන් එතෙක් තිබුණු ඒකාකාරී පොත් ප්‍රදර්ශන රාමුව බිඳ දමා ඒ පොත් සැණකෙළියක් බවට පත් කළේ BMICH පොත් ප්‍රදර්ශනයයි. එය මේ සා විශාල ජනප්‍රියත්වයක් අත් කරගනිමින් සිටින්නේ හුදෙක් වට්ටම් සහිතව පොත් අලෙවි කරන ස්ථානයකට වැඩි දෙයක් පාඨකයාට දුන් බැවිනි.


1999 දී පොත් ප්‍රදර්ශනය ඇරඹූ ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ සංගමය 2007 දී තවත් පෙරළියක් කළේ අවුරුද්දේ විශිෂ්ටතම නවකතාවට පිරිනැමෙන ස්වර්ණ පුස්තක සම්මානය පිරිනමමිනි. සම්මාන උත්සවයක විශාලතම විනිශ්චය මණ්ඩලය විසින් වට තුනකින් තෝරා රටේ පොතකට පිරිනැමෙන වැඩිම මුදල් ත්‍යාගය පිරිනැමීමද, අවසාන වටයට තෝරා ගැනෙන පොත් පහට පොත් ප්‍රදර්ශනයේදී දැවැන්ත ප්‍රසිද්ධියක් ලබාදීමද නිසා එය වහාම රටේ ප්‍රමුඛ සාහිත්‍ය ත්‍යාගය බවට පත්වූයේය. පොතක පිටපත් දාහක් විකුණාගැනීමට නොහැකිව තිබූ රටේ ස්වර්ණ පුස්තක සම්මානය ලැබූ ඇතැම් නවකතාවක් පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දින දහයේදී පමණක් පිටපත් තිස් දහස, හතළිස් දහස අලෙවි වන තරමට තත්ත්වය කණපිට හැරවුණේය.


එසේ වුවද සුරංගනා කතාවල මෙන් පොත් කතන්දරයේදී සියල්ල සතුටින් කෙළවර වන්නේ නැත. රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයක ධනාත්මක විප්ලවයක් කළ පොත් කර්මාන්තයටද ගොනු පිටුපස යන ගැල මෙන් බදු බර පැමිණ තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ ඒ හුදෙක් එක බද්දකට සීමාවන්නේ නැති බැවිනි.


මුලින්ම පොත් පළකිරීම සඳහා කඩදාසි ගෙන්වන විට ඊට බදු අය කෙරේ. ඊළඟට පොත් මුද්‍රණය සඳහා ප්ලේට් ගෙන්වන විට එහිදීද බදු පැනවෙයි. අන්තිම බද්ද එන්නේ පොත නිෂ්පාදනයෙන් පසු භාණ්ඩයක් හැටියට වෙළෙඳපොළට පැමිණෙන විටය.


මේ අවුරුද්දේ පොත් ප්‍රදර්ශනය ආරම්භ වූ සැප්තැම්බර් 25 වැනිදා ඒ විවෘත කරන්නට පැමිණි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊළඟ අයවැයෙන් පොත්වලට පැනවෙන වැට් බද්ද අහෝසි කරන බව කියා සිටියාය. එහෙත් පොත් මෙසේ පියවර තුනකදී බදුවලට යටත්වන බව අග්‍රාමාත්‍යවරියවත් දන්නේද යන්න සැකසහිතය. කෙසේවුවත් හැමදෙයකටම රජයේ පිළිසරණ ඉල්ලන්නට පුරුදු රටක පොත් ප්‍රකාශකයන් රජයේ උදව්වකින් තොරව කළ විප්ලවයට ආචාර කිරීමක් හැටියට පොත්වලට පැනවෙන බදුවලට සහනයක් සැලසෙන්නේ නම් ඒ, මේ ආණ්ඩුව කරන ලොකු වැඩෙකි.

 

More News..