ක්‍රිප්ටෝ ජාවාරම් වළක්වන්නැයි මහ බැංකුවට නියෝග
13 March 2026 | ඉෂාර රත්නකාර
ක්‍රිප්ටෝ ජාවාරම් වළක්වන්නැයි මහ බැංකුවට නියෝග
13 March 2026 | ඉෂාර රත්නකාර
විදේශ විනිමය පනතේ තිබෙන හිඩැස හේතුවෙන් ක්‍රිප්ටෝ කරන්සි ජාවාරම් හරහා මෙරට රුපියල් කෝටි ගණනක මුදල් විදෙස් රටවලට ගලාගෙන යන බව අධිකරණයට නිරීක්ෂණය වන බැවින් එය වහාම වැළැක්වීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම ශ්‍රී ලංකා මහ බැංකුවට ඊයේ (12 වැනිදා) නියෝග කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ කිසිදු අනුදැනුමකින් තොරව නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඉතා සූක්ෂම අයුරින් සිදුකරන මෙම ක්‍රිප්ටෝ කරන්සි ජාවාරම සම්බන්ධයෙන් ජනතාව තුළ කිසිදු අවබෝධයක් නොමැති බව විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එවැනි සිද්ධීන් හරහා සිදුවන මුදල් වංචා කිරීම් පිළිබඳ පැමිණිලි දිනෙන් දින නොනවත්වා අධිකරණයට වාර්තා වන අයුරු නිරීක්ෂණය වන බවද අවධාරණය කළේය.
විදේශ විනිමය පනතෙහි තිබෙන හිඩැස් ප්‍රයෝජනයට ගනිමින් මේ වන විට බොහෝ පිරිසක් මුදල් වංචා කිරීමට පෙලඹී ඇතැයි ප්‍රකාශ කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම ක්‍රිප්ටෝ කරන්සි ජාවාරම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ යුතු බවද දන්වා සිටියේය.
තවද එම මුදල් පිළිබඳ ජනතාවට නිසි අවබෝධයක් ලබාදිය හැකි වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ යුතු බවද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.
මෙම ක්‍රිප්ටෝ කරන්සි හරහා සිදුකරන ජාවාරම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ශ්‍රී ලංකා මහ බැංකුවට තවදුරටත් නියෝග කළේය. ක්‍රිප්ටෝ කරන්සි හරහා සිදුකරන මෙවැනි මුදල් ජාවාරම් පිළිබඳ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු අධිකරණයට පමණක් සීමා වී ඇතැයිද, ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පෞද්ගලික බැංකුවක් හරහා සිදුව ඇති රුපියල් කෝටි 29කට අධික ක්‍රිප්ටෝ කරන්සි ජාවාරමකට අදාළ නඩුවක් ඊයේ (12 වැනිදා) කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝග කළේය.

