ට්‍රැෆික් රාලහාමිලා වෙනත් වැඩවලට ගන්න එපා -DIG ගෙන් උපදෙස්
06 October 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
ට්‍රැෆික් රාලහාමිලා වෙනත් වැඩවලට ගන්න එපා -DIG ගෙන් උපදෙස්
06 October 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
කිසිදු රථවාහන පාඨමාලාවක් හදාරා නොමැති නිලධාරීන් රථවාහන අංශ වෙත අනුයුක්ත කර, ඔවුන් එම පාඨමාලාව හදාරා සතියක් ගතවෙන්නටත් මත්තෙන් වෙනත් වෙනත් අංශවල රාජකාරී යෙදවීම නුසුදුසු බව දක්වමින්, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර විසින් ලිපියක් පොලිස් ප්‍රධානින්ට යොමුකර තිබේ.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සියලුම දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරු, කොළඹ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, දිස්ත්‍රික් භාර පොලිස් අධිකාරිවරුන්, දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරිවරුන් වෙත මෙම ලිපිය නිකුත් කර ඇත.
දිනෙන් දින ඉහළ යන රිය අනතුරු සහ අවහිරයෙන් තොර සුරක්ෂිත මහමගක් උදා කිරීම සඳහා රථවාහන නිලධාරීන්ගේ පූර්ණ රාජකාරිමය දායකත්වය යොමු කළ යුතු බවත්, මේ සඳහා ඊට අදාළ දැනුම හා පුහුණු සහිත නිලධාරීන් රථවාහන රාජකාරිවල යෙදවීම වඩාත් සුදුසු බවත්, ඔහු එම ලිපියෙන් අවධාරණය කර තිබේ.
ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ රථවාහන කළමනාකරණ පාඨමාලාවන් හදාරන නිලධාරීන් වසර පහක කාලයක් තුළ වෙනත් අංශ වෙත අනුයුක්ත නොකළ යුතු බව චක්‍රලේඛ මගින් දැනුවත් කර තිබියදී එම පාඨමාලා හදාරන ලද නිලධාරීන් වෙනත් අංශයන්ට යොමු කිරීම ගැටලු සහගත බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
පොලිස්පතිවරයාගේ අනුමැතිය පරිදි රථවාහන මූලස්ථානය මගින් කරනු ලබන මෙම පාඨමාලාවන් සඳහා විශාල පිරිවැයක් දරන බැවින් ඉන් ඵලදායී සේවයක් ලබා ගත යුතු බවද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස රාජකාරී කිරීම, පොලිස් ස්ථානයක ස්ථානාධිපති ලෙස රාජකාරී කිරීම, විනය හේතූන් මත රථවාහන අංශයෙන් ඉවත්කර තිබීම, වෛද්‍ය නිර්දේශ මත අසනීප තත්ත්වයේ පසුවීම යන කරුණු මත රාජකාරී කරන නිලධාරීන් රථවාහන අංශයන් වෙත අනුයුක්ත කිරීම සුදුසු නොවන බවත්, මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

