යුද්ධය හේතුවෙන් සංචාරක පැමිණීම 20%කින් අඩුවෙලා
11 April 2026 | සාලිය කුමාර ගුණසේකර
යුද්ධය හේතුවෙන් සංචාරක පැමිණීම 20%කින් අඩුවෙලා
11 April 2026 | සාලිය කුමාර ගුණසේකර
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම හේතුවෙන් ඉකුත් වසරේ (2025) මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව සියයට 20 කට ආසන්න අගයකින් අඩුවී ඇති අතර මේ නිසා මාර්තු මාසයේදී සංචාරක කර්මාන්තයට අහිමි වී තිබෙන ආදායම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 85 කට ආසන්න වේ.
ඒ අනුව ඉකුත් 2025 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී සංචාරකයන් පැමිණීම සියයට ඝෘණ 19.76 කින් අඩුවී තිබේ.
2025 වසරේ මාර්තු මාසයේදී සංචාරකයන් 229,298 ක් මෙරටට පැමිණ ඇතත්, මේ වසරේ මාර්තු මාසයේදී එම සංඛ්‍යාව 183,979 ක් දක්වා අඩුවී ඇත.
මේ වසරේ ජනවාරි මාසයේදී සංචාරකයන් 277,327 ක්ද, පෙබරවාරි මාසයේදී සංචාරකයන් 279,328 ක්ද මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ තොරතුරු සඳහන් කරයි.
ඒ අනුව මේ වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලදී මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයන් සංඛ්‍යාව 740,634 කි.
ඉකුත් මාර්තු මාසයේදී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 47,533 කි. දෙවනුවට වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි. එම සංඛ්‍යාව 18,092 කි. රුසියානු ජනරජයෙන් සංචාරකයන් 15,685 ක්ද, චීනයෙන් 14,064 ක්ද, ජර්මනියෙන් සංචාරකයන් 13,429 ක්ද ආදී වශයෙන් මෙරටට පැමිණ තිබේ.
මේ වසරේ සංචාරකයන් පැමිණීමේ දත්ත අනුව, ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළදී ඉන්දියාවෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 147,273 කි.

