රටට සුබද ?
03 September 2026
රටට සුබද ?
03 September 2026
"අපේ ආණ්ඩුවට වසර දෙකයි! රටට සුබයි" යන තේමාව යටතේ ආණ්ඩුව රට පුරා ප්‍රචාරක රැලි පැවැත්වීමට සූදානම් වන බව දැනගන්නට ලැබේ. මේ දිනවල කතාබහ එකී ප්‍රචාරක රැලිවලට යන වියහියදම් පියවා ගන්නා ආකාරය ගැනය. විපක්ෂය චෝදනා කරන්නේ ආණ්ඩුව රටට සුබ යැයි කියමින් රට පුරා යාමට රජයේ මුදල් වියහියදම් කරන බවය. ආණ්ඩුවේ අය නම් කියන්නේ ඒ සඳහා වියහියදම් කරන්නේ මාලිමාවේ මුදල් හදල් බවය. එය කෙතරම් දුරට ඇත්තක් දැයි අප දන්නේ නැත. ඒ මේ රටේ දේශපාලනඥයන් තරම් අවිශ්වාස කළ යුතු පිරිසක් වෙන නොමැති හෙයිනි.
කෙසේ වෙතත් මාලිමා පක්ෂයට රට පුරා ප්‍රචාරක රැලි පැවැත්වීමට අති විශාල මුදලක් වැය වන බව නොකිව මනාය. මෙකී ප්‍රචාරක වැඩපිළිවෙළ පිළිබඳ අපට පැන නගින ගැටලු කිහිපයකි. ඉන් පළමු වැන්න මාලිමා පක්ෂයට තමන්ගේ ආණ්ඩුව හොඳ යැයි, සුබ යැයි මහජනතාවට ප්‍රකාශ කිරීම සඳහා වැය කරන මුදල් බෙහෙත් හිඟයකට මුහුණ දී තිබෙන බව කියන මහරගම පිළිකා රෝහල වැනි තැන්වලට හිඟ බෙහෙත් හැකි පමණින් ලබාදීම සඳහා වියදම් කළ හැකි නොවේද යන්නය. එමගින් ආණ්ඩුවට ප්‍රචාරයක් නොලැබෙන්නේ යැයි ආණ්ඩුවේ ඇත්තන් කල්පනා කරනවා විය හැකිය. එහෙත් දේශපාලන වේදිකාවල කෑමොරදීමට වඩා මහජනතාවට සහනයක් වන වැඩපිළිවෙළකට යොමුවීමට ආණ්ඩුවක් කරවන පක්ෂයකට හැකියාවක් තිබේ නම් එමගින් ලැබෙන මහජන ලකුණු වේදිකා ප්‍රචාරවලින් නොලැබෙන බව අපගේ වැටහීමය. අපගේ වැටහීම නොවැටහීමක් හැටියට ආණ්ඩුවට පෙනී යා හැකිය. එහි ගැටලුවක් නොමැත. අපගේ අදහස භාරගන්න යැයි ආණ්ඩුවට බල කිරීමට අපට නොහැකිය.
එනිසා ඒ ගැටලුව පසෙකින් තිබේවා ! මෙහිලා අපට පැන නගින තවත් බරපතළ ගැටලුවක් තිබේ. ඒ ආණ්ඩුව හෝ ආණ්ඩුවේ දෙවසරක පාලනය මහජනතාවට සුබයයි පැවසිය යුත්තේ ආණ්ඩුව විසින්ද යන්නය. එය ප්‍රකාශ කළ යුත්තේ මහජනතාව විසින් නොවේද? මෙවැනි ගැටලු මතුකිරීම පිළිබඳ ආණ්ඩුව අප සමග උරන විය යුතු නැත. අප ඒවා මතුකරන්නේ නොදන්නාකම දුරුකර ගැනීමටය. සාමාන්‍ය ජීවිතයේදී වුවද අපගෙන් යම් සහනයක් ප්‍රතිලාභයක් තවත් කෙනකුට ලැබෙන විට ඒ තැනැත්තා එය නොවලහා ප්‍රකාශ කරයි. එහිලා ඔහුට අමුතුවෙන් තල්ලුවක් දිය යුතු නැත. ඔහුගෙන් නිරායාසයෙන්ම එය ප්‍රකාශ වෙයි. සතුට එළියට පනී. සුබ පැතුම් ගලා එයි. එවැනි සතුටක් නොලැබෙන්නේ නම් එය ප්‍රකාශ කිරීම සඳහා බල කිරීමට සිදුවේ. එසේත් නොවේ නම් අහවල් පුද්ගලයාට තමන් නිසා සතුටක් සැනසීමක් ලැබී තිබෙන බව දැනගන්නට තිබෙන බව මඟ තොටේදී හමුවන පුද්ගලයන්ට කීමට සිදුවේ. එවැනි අවස්ථා අප ඕනෑ තරම් දැක තිබේ. ආණ්ඩුවද පත්ව තිබෙන්නේ එවැනි කනගාටුදායක තැනකට දැයි යන කනගාටුව පුරවැසියකුට ඇතිවිය හැකිය. ආණ්ඩුවේ දෙවසරක කාල පරිච්ඡේදය මගින් මහජනතාවට, රටට සුබ වූයේ නම් එය මහ ජනතාව ප්‍රකාශ කළ යුතුය. එසේම එකී සුබ ප්‍රතිඵල ගැන තැන් තැන්වල කීමට මහජනතාව දෙවරක් නොහිතන බව ද අප නොදන්නවා නොවේ. මහජනතාව එවැන්නක් පළ නොකරන නිසා ආණ්ඩුවම රටට සුබ යැයි ප්‍රකාශ කරමින් රට වටේ යාමට පටන් ගෙන තිබේ යැයි කෙනකුට අදහසක් මතුවීම අරුමයක් නොවේ.
පත්තරයක් බැලුවත්, රූපවාහිනී චැනලයක් නැරඹුවත් අපට නිතරම දක්නට ලැබෙන්නේ, අහන්නට ලැබෙන්නේ, කියවන්නට ලැබෙන්නේ එතරම් සුබදායක පුවත් නම් නොවන බව කීමට සිදුවේ. එක් පැත්තකින් ගොවි ජනතාවගේ දුක් ගැනවිලිය. වී කිලෝවකට සාධාරණ මිලක් ලබා දෙන බව කියමින් වී ගොවියාට සුරලොව පෙන්නූ ආණ්ඩුව ගොවියාගේ ප්‍රශ්න විසඳීමට අසමත් වී තිබේ. අනෙක් අතට ධීවර ගැටලුය. එසේම ගුරු ගැටලුය. රෝහල්වල ගැටලුය. සමාජය භීතියට පත්කරන ගිනි අවි සහ ගිනි කෙළිවල සෙල්ලම් ලෙල්ලම ද ඉවරයක් නැත. අපරාධකරුවෝ අරුම පුදුම විදිහට, ළඟටම ගොස් කිසිදු බයක් සැකක් නැතිව ඉලක්කය ගනිති. අයිස් වැනි මත්ද්‍රව්‍යය හේතුවෙන් විනාශ මුඛයට වැටුණු පිරිස් එක් පැත්තකින් සිටිති. එසේම මහජනතාවට දරා ගත නොහැකි ජීවන වියදම දිවා රෑ මහජනයා දවයි. මෙකී ගැටලු හුදෙක් මාලිමා ආණ්ඩුව බලයට පත් වූ පසු උද්ගත වූ ඒවා යැයි අප සඳහන් කරන්නේ නැත. එහෙත් මාලිමා ආණ්ඩුවට මේවා කලින් සිටම තිබුණු ගැටලු යැයි කියමින් කර ඇරිය නොහැකි ය. ඔවුන් රට භාර ගත්තේ ඒවා විසඳාගැනීමට හැකියාව තිබෙන හෙයිනි. එසේ වුව මහජනතාව මුහුණපාන ගැටලු විසඳාගැනීමේ වුවමනාවක් ආණ්ඩුවට තිබේ දැයි යන ගැටලුව පුරවැසියකුට ඇතිවිය හැකිය. ඒ දැවෙන ගැටලු විසඳාගැනීමට ප්‍රමුඛතාව නොදී විනිසුරන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා සංශෝධනයක් ව්‍යවස්ථාවට ගෙන ඒමට ආණ්ඩුව මේ දිනවල වලිකන හෙයිනි. දෙස් විදෙස් වශයෙන් දැඩි විරෝධයක් එල්ල වුවද එයද නොතකා ආණ්ඩුව අග්‍ර විනිශ්චකාරවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමේ ඒකායන අරමුණින් විසිදෙවැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට වෑයම් කිරීමෙන් පෙනෙන්නේ මහජන ගැටලු පිළිබඳ සංවේදීතාවක් නොමැති බව යැයි සඳහන් කිරීම පදනම් විරහිත නොවේ. මෙවැනි වටපිටාවක නම් මාලිමා පක්ෂයම තමන්ගේ ආණ්ඩුව රටට සුබ යැයි ප්‍රචාරය කිරීමට යොමු වීම පුදුමයක් ද නොවේ !

