brand logo
logo
විෂ මත් ද්‍රව්‍ය පාවිච්චි කළ රියදුරන් 43 දෙනෙකු අත්අඩංගුවට

විෂ මත් ද්‍රව්‍ය පාවිච්චි කළ රියදුරන් 43 දෙනෙකු අත්අඩංගුවට

08 November 2026 | කැලුම් ගුණතිලක මොනරාගල


රථ වාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් විෂ මත් ද්‍රව්‍ය භාවිතාකර රිය ධාවනය කරන රියදුරන් සොයා මේ දින වල දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ.ඒ යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ විෂ මත් ද්‍රව්‍ය පාවිච්චි කළ රියදුරන් සොයා නුගේගොඩ ජාතික වෛද්‍ය ආයතනයේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව ක්ෂණික ස්ථාන යොදා ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී විෂ මත් ද්‍රව්‍ය පාවිච්චි කළ බස් රථ රියදුරන් සහ අනෙකුත් රථ වාහන රියදුරන් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.


මෙහිදී මොනරාගල පොලිස් කොට්ඨාශයට අයත් තණමල්විල,වැල්ලවාය,බුත්තල සහ මොනරාගල යන පොලිස් වසම් වල ක්ෂණිකව ස්ථාන තෝරා ගනිමින් රියදුරන් ගංජා,හෙරොයින්,අයිස්,සහ බාබුල් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර සිටීද යන්න මුත්‍රා සාම්පල් ලබා ගෙන පරීක්ෂණ සිදු කරන ලදි.


මොනරාගල පොලිස් වසම තුළ සිදු කරන ලද පරීක්ෂණය (06) වෙනිදා පෙරවරුවේ මොනරාගල බස් නැවතුම්පොළේදී පැවැත්විණි.


මෙහිදී මොනරාගල හරහා බස් රථ ඇතුළු අනෙකුත් වාහන මඟින් විවිධ ගමනාන්තවල යෙදෙන රියදුරන් ක්ෂණිකව පරීක්ෂාවට ලක් කරන ලදි. එම රියදුරන් පරීක්ෂාවට ලක්කර විෂ මත් ද්‍රව්‍ය පාවිච්චි කළ රියදුරන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගන්නා ලදි.එම සිව් දෙනාත් සමඟ මොනරාගල දිස්ත්‍රික්කය පුරා සිදුකළ පරීක්ෂණ කටයුතු වලදී විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් 43 මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.


නුගේගොඩ ජාතික වෛද්‍ය ආයතනයේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව මොනරාගල දිස්ත්‍රික් භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම මත පොලිස් අධිකාරී ජේ.එම් ජයසුන්දර මහත්මාගේ අධීක්ෂණය යටතේ මොනරාගල කොට්ඨාශ රථ වාහන අංශයේ ස්ථානාධිපති පො.ප චන්ද්‍ර කුමාර මහතාගේ මෙහෙයවීම මත පොලිස් ස්ථානවල රථ වාහන අංශ වල ස්ථානාධිපතිවරුන් සහ රථ වාහන අංශ නිලධාරීන් විසින් මෙම පරීක්ෂාව සිදුකරන ලදි.

 

More News..