කම්පන දූෂණයක් කළොත් අවුරුදු දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂ දහය දක්වා දඩ
02 September 2026 | සංවාදය - නිරෝෂා වාසල
කම්පන දූෂණයක් කළොත් අවුරුදු දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂ දහය දක්වා දඩ
02 September 2026 | සංවාදය - නිරෝෂා වාසල
වසර විසිපහකට පමණ පසුව ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමට වර්තමාන ආණ්ඩුව ගත් තීරණය අගය කළ යුතු බවත්, එමගින් රටේ අනාගතය තිරසර සංවර්ධනය කරා මෙහෙයවිය හැකි බවත් පිරිසක් කියති. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සහ එයට එක් කරන ලද 1988 අංක 56 සහ 2000 අංක 53 දරන සංශෝධන පනත් මගින් පරිසරයේ ආරක්ෂාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කර තිබුණද, වර්තමාන අභියෝගවලට මුහුණ දෙමින් පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා දැනට පවතින නෛතික රාමුව ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගෙන පැරණි පාරිසරික පනත සංශෝධනයට තීරණය කළ බව ආණ්ඩුව පවසයි. ආණ්ඩුවේ ඒ අදහස පිළිබඳව මෙන්ම 2026 අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය, නීතිඥ රොෂේල් පෙරේරා සමග "අරුණ" කළ සාකච්ඡාවකි මේ.
අවුරුදු විසිපහකට පමණ පසුව 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම කෙරෙහි වර්තමාන ආණ්ඩුවේ අවධානය යොමුවීම ගැන මේ දිනවල බොහෝ දෙනෙක් කතාබහ කරනවා. ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මොකක්ද?
ජාතික පරිසර පනත සංශෝධනය විය යුතුයි යන කතාබහ අද ඊයේ ඇතිවූවක් නොවෙයි. පරිසරය සම්බන්ධයෙන් කාලාන්තරයක් තිස්සේම ලංකාවේ නීතිය තුළ යම් කතිකාවතක් නිර්මාණය වෙලා තිබුණා. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් පරිසරය ආරක්ෂාකිරීමට අදාළ මූලික ආයතනික හා නෛතික රාමුවක් සකස් කරලා මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපිත කළා. ඉන් අනතුරුව 1988 සහ 2000 වර්ෂවල පාරිසරික පනත සංශෝධනය වුණා. මේ නීතිරාමුව මනා ලෙස උපයෝගී කරගනිමින් විශේෂයෙන්ම 2017 දී මධ්‍යම පරිසර අධිකාරිය පොලිතින් හා ප්ලාස්ටික් කළමනාකරණ ප්‍රමිතීන් හා රෙගුලාසි ප්‍රකාශයට පත් කළ ආකාරය අපි දැක්කා. නමුත් මේ සම්බන්ධ නියාමනයන් කිරීමේදී විවිධ දුෂ්කරතා මතුවෙනවා. ආයතනික සහයෝගීතාවය වැදගත්වෙන්නේ ඒ නිසයි. මේ සඳහා හොඳම උදාහරණයක් විදියට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෑතකදී සිලි සිලි බෑග් (ෂොපින් බෑග්) වෙළෙඳසැල්වලින් නොමිලේ ලබා දීම තහනම් කිරීමට ගත් පියවර පෙන්වාදෙන්න පුළුවන්. මෙවැනි තීන්දු තීරණ ගැනීමෙන් හෝ ප්‍රමිතීන් හඳුන්වාදීමෙන් යම්තාක් දුරකට පරිසරයට වන හානිය අවම වුණත් ඒවායෙන් පමණක් පරිසරය ආරක්ෂා වෙනවා කියන්න බැහැ. ඒ නිසා පාරිසරික පනත සංශෝධනය කරමින් පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍යය කටයුතු සම්පාදනය කළ යුතුයි වගේම වඩාත් පුළුල් ලෙස වැළැක්වීම, අධීක්ෂණය සහ වගවීම මත පදනම් වූ පරිසර පාලන ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි කියලා පරිසරයට ආදරය කරන බොහෝ දෙනෙක් යෝජනා කළා. මොකද 2000 වර්ෂයෙන් පසුව ඒ කියන්නේ අවුරුදු විසි හයක්ම ජාතික පාරිසරික පනත සංශෝධනය වෙලා නැහැ. ඒ නිසා ඇත්තටම ජාතික පාරිසරික පනත නූතන ලෝකයේ අභියෝගයන්ට මුහුණදිය හැකි පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවකුත් තියෙනවා. ඒ අවශ්‍යතාව තේරුම් ගනිමින් ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වීම ගැන අපි සතුටු වෙනවා.
ඔබ ඉහතදීත් සිහිපත් කළ ආකාරයට 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත අවස්ථා දෙකකදී සංශෝධනය වුණා නේද?
ඔව්. මුළු ලංකාවම ආවරණයකරන ව්‍යවස්ථාවක් වශයෙන් ක්‍රියාත්මක වන ජාතික පාරිසරික පනත ප්‍රථම වතාවට සංශෝධනය වුණේ 1988 අවුරුද්දේ. ඒ අනුව 1988 අංක 56 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත මගින් පාරිසරික බලපෑම් ඇගයීම සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රමවේදය යම් මට්ටමකට ශක්තිමත් කිරීමක් වුණා. ඉන් අනතුරුව 2000 වර්ෂයේ ජාතික පාරිසරික පනත නැවැත සංශෝධනය කළා. 2000 අංක 53 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත මගින් බලපත්‍ර සහ නියාමන ක්‍රමවේද යම් ආකාරයකට ශක්තිමත් වූ බව කියන්න පුළුවන්. කොහොම වුණත් 2000 වර්ෂයෙන් පසුව මේ දක්වා අවුරුදු විසිහයක්ම පාරිසරික පනත සංශෝධනය වෙලා නෑ. ඒ වුණාට මේ අවුරුදු විසිහය තුළ පරිසරයේ ආරක්‍ෂාවට තිබෙන තර්ජනවල වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ තර්ජනවලට මුහුණ දෙමින් පරිසරය ආරක්ෂා කරගැනීම ඇත්තටම ලොකු අභියෝගයක්. ඒ අභියෝගය ජයගැනීම සඳහා ජාතික පාරිසරික පනත සංශෝධනය කරමින් මෙවර පනතට පෙර පනතේ නොතිබුණු අලුත් කාරණා මෙන්ම සමාජ කතිකාවන් තුළින් ඉදිරිපත් වූ අලුත් යෝජනා ගණනාවකුත් ඇතුළත් වෙලා තියෙනවා.
පෙර පනතේ නොතිබුණු නව පනතට ඇතුළත් වී තිබෙන අලුත් කාරණා මොනවද?
1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත තුළ පවතින රාමුවට වඩා පුළුල් පරාසයක් 2026 අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත තුළින් ආවරණය වන බවක් අපිට පේනවා. විශේෂයෙන්ම අලුත් පනත තුළින් විවිධ විෂය ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කරනවා. අන්තරායකර අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය හා අපජලය බැහැර කිරීම, තෙත්බිම් සංරක්ෂණය ආදී විවිධ විෂය ක්ෂේත්‍ර අලුත් පරිසර පනත මගින් ආවරණය වෙනවා. 1988 සංශෝධනයේ ප්‍රධානම වැදගත්කම වුණේ කරන ලද ව්‍යාපෘති සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් ඇගයීමේ ක්‍රමවේදයක් නීතියට ඇතුළත් කිරීමයි. ව්‍යාපෘතියක් අනුමත කරනවාද නැද්ද යන්න සම්බන්ධවයි එහිදී ප්‍රශ්න කළේ. ඒත් ඉන් ඔබ්බට ගොස් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර පරිසරය සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන කාරණාවට අලුත් පරිසර සංශෝධන පනත විශේෂ අවධානයක් යොමු කරනවා. එපමණක් නොවෙයි යම්කිසි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින විට එය නිරීක්ෂණය කළ යුත්තේ කෙසේද? යම්කිසි ව්‍යාපෘතියකින් පරිසරයට හානියක් වූවොත් වගකීම කාටද? ආදී ප්‍රශ්නවලට නෛතිකභාවයක් ලබා දෙන්නත් 2026 සංශෝධනය මගින් උත්සාහ අරගෙන තියෙනවා.
2026 අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත තුළ අන්තර්ගත වී තිබෙන අලුත් කාරණා පිළිබඳව තවත් පැහැදිලි කිරීමක් කළොත්?
විශේෂයෙන්ම පාරිසරික නිර්දේශය පිළිබඳ අලුත් පනතෙන් අවධානය යොමු කර ඇති බවක් පේනවා. ප්‍රතිපත්ති සැලසුම් සහ ව්‍යාපෘති සම්බන්ධයෙන් වන උපායමාර්ගික පාරිසරික ඇගයීම කියන සංකල්පය අලුතෙන් ඇවිත් තියෙනවා. මින් පෙර තිබුණේ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමයි. මෙවර ඉන් ඔබ්බට ගොස් පාරිසරික බලපෑම් ඇගයීමට අමතරව උපායමාර්ගික පාරිසරික ඇගයීම කියන සංකල්පයත් හඳුන්වාදීම විශේෂත්වයක්. ඊට අමතරව අන්තරායකර අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය සහ අපජලය බැහැර කිරීම ආදිය සම්බන්ධයෙනුත් සංශෝධිත පනත තුළ සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන් ම අන්තරායකර අපද්‍රව්‍ය වර්ග නිශ්චය කිරීම, බලපත්‍ර ලබාදීම සහ කළමනාකරණ ක්‍රමවේද සකස් කිරීම සඳහා පනත මගින් අමාත්‍යවරයාට බලය දී තිබෙනවා. ඒ වගේම නිෂ්පාදනය කරන, හසුරුවන හෝ කළමනාකරණය කරන පුද්ගලයන් ඒ සඳහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වෙනවා. නියමිත රසායනික ක්‍රියාකාරකම් සඳහා අවසර පත්‍ර ක්‍රමයක් ස්ථාපිත කර තිබීමත් විශේෂත්වයක්. අපජල බැහැර කිරීම සඳහා ගාස්තු ක්‍රමයකුත් හඳුන්වා දී තිබෙනවා. එය අපජල ප්‍රමාණය හා දූෂක බර වැනි කරුණු මත පදනම් විය හැකියි.
ඒ වගේම මීට පෙර තෙත්බිම් සංරක්ෂණය සම්බන්ධයෙන් ජාතික පාරිසරික පනත තුළ නීතියක් තිබුණේ නැහැනේ. තෙත්බිම් සංරක්ෂණය ගැන අවශ්‍ය කටයුතු අපි ගත්තේ ප්‍රතිපත්තියක් හැටියටයි. නමුත් මෙවර තෙත්බිම් සංරක්ෂණය පරිසර නීතිය තුළට ගෙනැවිත් තියෙනවා.
මීට අමතරව නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම යනුවෙන් අලුත් සංකල්පයක් හඳුන්වා දී තිබෙන බවකුත් අපිට පේනවා. මේ සංකල්පය අනුව යම්කිසි භාණ්ඩයක් පාරිභෝගිකයා විසින් භාවිත කර අවසානයේ එය බැහැරකරන අවස්ථාවේදී පවා ඇති විය හැකි පාරිසරික හානියකට කෙළින්ම අදාළ භාණ්ඩයේ නිෂ්පාදකයාට වගකීම පැවරීමේ හැකියාව පවතිනවා. ඒ වගකීම පැවරෙන භාණ්ඩ මොනවාද කියලා අමාත්‍යවරයා විසින් රෙගුලාසියක් මගින් නම් කළ යුතුයි.
මේ ආකාරයටම අනවශ්‍ය ඉදිකිරීම් වැළැක්වීම, ස්වභාවික සම්පත්වලට වන හානි තක්සේරු කර වියදම් අය කරගැනීම, දණ්ඩනයන් බලාත්මක කරගැනීම ආදී වශයෙන් බොහෝ කාරණා සංශෝධිත නව පාරිසරික පනත තුළ තියෙනවා. සරලවම කිව්වොත් වාතය ජලය ඇතුළු සමස්ත පරිසර දූෂණය වළක්වා ගැනීමටත්, පරිසර දූෂණයක් වූ අවස්ථාවක ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම ලබාදෙන දණ්ඩනයන් සම්බන්ධයෙනුත් ඉතාමත් වැදගත් කාරණා ගණනාවක් අලුත් පනත තුළ අන්තර්ගත වී තිබෙන බව අපිට පේනවා.
අලුත් පරිසර පනත පිළිබඳ කතාබහ කරළියට පැමිණීමෙන් පසුව පසුගිය දිනවල බොහෝ දෙනෙක් ශබ්ද දූෂණය ගැන වැඩිපුර කතාකරන්න පටන් ගත්තා. අධික ශබ්දයකින් බණ, පිරිත් දාන පන්සල්වලට වැඩවරදින්නයි යන්නේ කියලත් සමහරු කිව්වා නේද?
ඇත්තටම අලුත් පනතෙන් ශබ්ද දූෂණයට එහා ගිය කම්පන දූෂණය සම්බන්ධයෙනුයි විශේෂ අවධානයක් යොමුකරලා තියෙන්නේ. ඒ ගැන විස්තර කිරීමට පෙර මම ඔබ ඇසූ ප්‍රශ්නයට උත්තර දෙන්නම්. ඔබ කියූ ආකාරයටම වැඩිපුරම ශබ්ද දූෂණය වෙන්නේ පන්සල්වලින් කියලා සමහරු කියලා තිබුණා මමත් දැක්කා. ඇත්තටම පන්සල් පමණක් නොවෙයි සියලුම ආගමික මධ්‍යස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් උස් හඬින් ධර්ම කරුණු ප්‍රචාරය කරනවා.
ඒ අනුව පන්සල්වලින් වගේම පල්ලි කෝවිල් ආදී අනෙකුත් ආගමික මධ්‍යස්ථානවලිනුත් අඩු වැඩි වශයෙන් ශබ්ද දූෂණයක් වෙනවා. බස් රථවල මගියාට දරාගන්න අපහසු තරම් ශබ්දයකින් සින්දු දාලා තියෙනවා. ඒකත් ශබ්ද දූෂණයක්. ඒ විතරක් නොවෙයි අපේ නිවෙස් තුළින් පවා ශබ්ද දූෂණය වෙනවා. ඒ නිසා ආගමික මධ්‍යස්ථාන නිසා පමණක් ශබ්ද දූෂණය වෙනවා කියලා කියන්න බැහැ. ඒක වැරදි වැටහීමක්. කොහොම වුණත් මගේ අධ්‍යයනයේ හැටියට නම් ජාතික පාරිසරික පනතේ නව සංශෝධනය තුළ අන්තර්ගත වෙලා තියෙන්නෙ ශබ්ද දූෂණයෙන් ඔබ්බට ගිය කම්පන දූෂණයක් ගැනයි. එය ශබ්ද දූෂණය යන්නට ලඝු කරන්න බැහැ.
අලුත් ජාතික පාරිසරික සංශෝධන පනතේ සඳහන් වී ඇති කම්පන දූෂණය ගැනත් කතා කරමු?
කම්පන නිසා වන පරිසර දූෂණය ශබ්ද දූෂණයකට පමණක් සීමා කරන්න බෑ. ඉන් එහා ගිය විශාල පරාසයක් කම්පන මගින් වන පරිසර දූෂණයට ඇතුළත් වෙනවා. අලුත් පනතේ 23(ජ) ආ වගන්තිය යටතේ කම්පන නිසා වන දූෂණය පිළිබඳ අර්ථ දක්වලා තියෙනවා. අධික ශබ්දය යන්නට සීමා නොවී භූ සහ වායු කම්පන ඔස්සේ වන පරිසර දූෂණයත් කම්පන දූෂණයට අයත්. 1980 අංක 47 දරන මූලික පාරිසරික පනතේ කම්පනය වෙනමම පාරිසරික දූෂකයක් ලෙස සෘජුව අර්ථ දක්වලා තිබුණේ නැහැ. එහිදී කම්පනය සම්බන්ධ ගැටලු පාලනය කිරීමට උත්සාහ කළේ ශබ්ද දූෂණය සඳහා වූ ප්‍රතිපාදන යටතේයි. ඒ වගේම පැරණි පනත යටතේ පරිසර දූෂණය, ශබ්ද හෝ කම්පන රෙගුලාසි උල්ලංඝනය කරන වැරදිකරුවන්ට පැනවිය හැකිව තිබූ දඩ මුදල රුපියල් 10,000 ත් 100,000 ත් අතර ඉතා අඩු මට්ටමකයි තිබුණේ. මහා පරිමාණ ව්‍යාපෘති කරන සමාගම්වලට මේ දඩය ඉතා සුළු මුදලක් නිසා බොහෝ දෙනෙක් මේ නීතිය පිළිබඳ එතරම් තැකීමක් කළේ නැහැ. නමුත් අලුත් පරිසර පනතට අනුව කම්පන දූෂණයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්න හැකියාව තිබෙනවා.
අලුත් පාරිසරික සංශෝධන පනතට අනුව කම්පන දූෂණයට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවාද?
මේ සංශෝධනයෙන් කම්පන දූෂණයට විරුද්ධව තද තීරණ ටිකක් අරගෙන තියෙනවා. විශේෂයෙන් ම කම්පන මගින් ඇතිවන දූෂණයන් වළක්වාලීම සඳහා නියෝග සෑදීමට හැකියාවක් තියෙනවා. දැන් කවුරුහරි මහජනතාවට පීඩාවක් වෙන විදිහට අධික කම්පන හෝ ශබ්ද පිට කරලා එකී නියෝගයන් කඩවන පරිද්දෙන් පරිසරය දූෂණයක් කළොත් ඒ සම්බන්ධ නඩුව විභාගකිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලය දීලා තියෙනවා. ඒ වගේම මේ වරදට උසාවියෙන් රුපියල් ලක්ෂයක සිට මිලියනයක් දක්වා විශාල දඩයක් හෝ අවුරුදු 2ක් දක්වා සිරදඬුවමක් හෝ ඒ දෙකම හෝ පැනවීමටත් හැකියාව තිබෙනවා. ගල්කොරි, මහා පරිමාණ ගොඩනැඟිලි ඉදිකිරීම් වැනි දේවලින් නියමිත කම්පන සීමාව ඉක්මවා ගියොත්, ඒ අයගේ පරිසර ආරක්ෂණ බලපත්‍ර වහාම අවලංගු කරලා වැඩ තහනම් කරන්න මධ්‍යම පරිසර අධිකාරියට බලය තිබෙනවා. එපමණක් නොවෙයි, මේ කම්පන නිසා අවට නිවෙස්වල ජනතාවට හෝ පරිසරයට කුමන ආකාරයක හානියක් වුවත් ඒ හානිය යථා තත්ත්වයට පත් කරන්න යන සම්පූර්ණ වියදම හානි කළ පාර්ශ්වයෙන්ම අය කරගන්නත් අලුත් නීතියෙන් මධ්‍යම පරිසර අධිකාරියට ලොකු බලයක් දීලා තියෙනවා. මේ ආකාරයට කම්පන දූෂණය වගේම පරිසර දූෂණය පිටුදැකීම සඳහාත් 2026 පාරිසරික සංශෝධන පනත තුළ බොහෝ කාරණා අන්තර්ගත වී තිබෙන බව සිහිපත් කළ යුතුයි.

