ළමා අපයෝජන වැඩිවීමකට වඩා තියෙන්නේ ඒවා වාර්තාවීමේ වැඩිවීමක්
28 August 2026
ළමා අපයෝජන වැඩිවීමකට වඩා තියෙන්නේ ඒවා වාර්තාවීමේ වැඩිවීමක්
28 August 2026
ළමයින් ආරක්ෂා කරගැනීම සඳහා ආයතනික වශයෙන් මෙන්ම නීතිමය වශයෙන් බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබුණත් මේ වන විට ළමා අපයෝජන සහ හිංසනවල වැඩිවීමක් වී ඇති බව කියැවෙනවා. ඒ කතාවේ ඇත්තක් තියෙනවද?
මට හිතෙන විදිහටම නම් ඇත්තටම ළමයින් අපයෝජනයට සහ හිංසනයට ලක්වීමේ සිදුවීම් වැඩිවීමක් නොවෙයි වෙන්නේ. වෙලා තියෙන්නේ එවැනි සිදුවීම් වාර්තාවීම වැඩිවීමයි. සාමාන්‍යයෙන් වාර්තා වෙනවාට වඩා හත් ගුණයක ළමා හිංසන ප්‍රමාණයක් වාර්තා නොවී තිබෙනවා කියලා සමාජ පර්යේෂකයන් පෙන්වා දෙනවා. ඒ වුණත් වාර්තා කිරීමට තිබෙන පහසුකම් වැඩිවන විට එම සිදුවීම් වැඩියෙන් වාර්තා වෙන්න පටන් ගන්නවා. 2025 වර්ෂයේ ජූලි 30 වැනිදා වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වෙලා තිබුණේ පැමිණිලි 4900 ක් වැනි ප්‍රමාණයක් පමණයි. නමුත් 2026 වර්ෂයේ ජූලි 30 වැනිදා වනවිට ළමයින් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය 5700 ක් දක්වා වැඩිවෙලා තියෙනවා. පසුගිය වසරට වඩා මේ වසර තුළ පැමිණිලි 800ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරනවා. ළමා හිංසන පිළිබඳව ජනතාව දැනුම්වත් වන විට හා වාර්තා කිරීමේ ක්‍රමවේදය සරල වන විට වාර්තා කිරීම් වැඩිවෙනවා. 1929 කියන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දුරකථන අංකයට භාෂා ත්‍රිත්වයෙන්ම ඇමතුම් දිය හැකි බවට ජනතාව දැනුම්වත් වෙනකොට හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිළිබඳව ජනතාව තුළ විශ්වාස වැඩිවන විට ළමයින් සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීමත් වැඩිවෙනවා කියන එකයි මගේ විශ්වාසය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වැඩිපුරම ලැබෙන්නේ මොන වගේ පැමිණිලද?
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි අතුරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව පිළිබඳ පැමිණිලි කියන කාණ්ඩයටයි අයිති වෙන්නේ. තවත් විදිහකට කියනවනම් අපට ලැබෙන පැමිණිලිවල වැඩිපුරම තියෙන්නේ ළමයින්ව නොසලකා හැරීම,අත්හැර දැමීම, ශාරිරිකව හා මානසිකව ළමයින්ව හිංසනවලට ලක්කිරීම වැනි සිදුවීම්වලට අදාළ පැමිණිලියි. සාමාන්‍යයෙන් අපේ ආයතනයට මාසයකට පැමිණිලි 600 - 1000 පමණ ලැබෙනවා. නමුත් මේ වසරේ ජුනි, ජූලි මාසවලදී අපට වාර්තා වී තිබෙන පැමිණිලි ප්‍රමාණයේ යම් වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වසරේ ජුනි, ජූලි මාසවලදී ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1100ක් පමණ වෙනවා. මේ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීම ළමා ආරක්ෂක නිලධාරීන්ගේ අඩුවක් පහුගිය දවස්වල තිබුණා. ඇත්තටම නිලධාරී හිඟය කියන්නේ ලොකු අභියෝගයක්. කොහොම වුණත් අපි දැන් ඒ නිලධාරීන්ගේ අඩුව සම්පූර්ණ කරගැනීමටත් අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා.
පසුගිය දවසක වත්තේගම ප්‍රදේශයේ දරුවෙක් සම්බන්ධයෙන් කනගාටුදායක පුවතක් වාර්තා වුණා නේද?
ඔව්. ඇත්තටම වත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වුණේ වැඩිහිටියන් විසින් වුවමනාවෙන්ම දරුවන් නොසලකා හැරීමේ සිදුවීමක්. මම ඒ සිදුවීම පිළිබඳව කතාකරන්න යන්නේ නැහැ. වැඩිහිටියන්, මව්පියන් හෝ භාරකරුවන් වුවමනාවෙන්ම තම ළමයින්ව නොසලකා හරිනවා නම් එය දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තියට අනුව අපරාධයක්. පසුගිය දවසක වත්තේගම ප්‍රදේශයක දරුවකුට වූ කනගාටුදායක සිදුවීමේදීත් 308 වන වගන්තියට අනුව කටයුතු කරන්න කියලයි අපි වත්තේගම පොලිසියට උපදෙස් දුන්නේ. කවුරුන් හෝ ළමයාට අපරාධයක් කරනවා නම් ඔහුට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න කියලා ළමා ආරක්ෂක අධිකාරිය විදිහට අපි පොලිසියට උපදෙස් දෙනවා. ළමයින් කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ලැබිය යුතු දඬුවම් මොනවද කියලා 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ 308 වන වගන්තියේ තියෙනවා.
ළමයින්ගේ භාරය හෝ ආරක්ෂාව දරමින් ළමයාව කායිකව හෝ මානසිකව හිංසනයට ලක්කිරීම, ඕනෑකමින්ම ළමයාව අත්හැර දැමීම, ළමයාව නොසලකා හැරීම, ළමයාව අතරමං කිරීම යන සියලුම කාරණා අපරාධ වරදක් බව එම වගන්තියේ සඳහන් වෙනවා. ඒ අපරාධ වරද වෙනුවෙන් වසර 10ක් දක්වා වූ සිරදඬුවමක් වුවත් දිය හැකියි. නමුත් එවැනි දඬුවමක් දීම සඳහා ළමයා වුවමනාවෙන්ම නොසලකා හැරීම, අත්හැර දැමීම කියන කාරණාව ඔප්පු විය යුතුයි. මව්පියන් වෙනත් සබඳතාවලට යොමුවෙලා නම්, තමන්ගේ පෞද්ගලික අරමුණවලට ළමයා පාවිච්චි කරනවා නම්, ස්වාමියා හෝ බිරිඳ තුළ පවතින තරහ දරුවන්ගෙන් පිටකරන්න හදනවා නම් ඒ බව ඔප්පු විය යුතුයි. කොහොම වුණත් ගෘහස්ථ හිංසනය නිසා කිසියම් කාන්තාවක් තම නිවසින් පිට වෙලා ගියොත් තමන්ගේ ළමයින්ට නොසලකා හැරියා හෝ ළමයින් අත්හැර දැම්මා කියලා ඒ කාන්තාවට විරුද්ධව නඩු දාන්න හැකියාවක් නැහැ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව, වැඩි වශයෙන්ම අපේ සමාජයේ ළමයින් හිංසනයට ලක්වෙන්නේ කවුරුන් නිසාද?
ළමයින්ගේ භාරය හා ආරක්ෂාව පැවරී තිබෙන අයගෙන්ම ළමයින්ට වන හිංසන පිළිබඳවයි අපිට වැඩි වශයෙන්ම පැමිණිලි ලැබෙන්නේ. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. මව්පියන්, වැඩිහිටියන්, තාවකාලික භාරකරුවන් වගේම ළමයාගේ පාසලේ විදුහල්පති හා ගුරුවරුන් යන අයත් ළමයෙක්ගේ භාරකාරයන් හැටියටයි සලකන්නේ. මේ භාරකාරයන් අතින් ළමයින් විවිධාකාරයේ හිංසනවලට, කෲරත්වයට සහ අපයෝජනවලට ලක්වෙන බව අපට ලැබෙන පැමිණිලි පිළිබඳ අවධානයෙන් බලද්දි තේරෙනවා.
ඔබ ඔය කියන විදිහට භාරකරුවන් අතින් ළමයින්ව හිංසනයට ලක්වීමට හේතු මොනවද?
පවුල් ආරවුල් හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඒ සඳහා බලපාන ප්‍රධානම හේතුවක්. ඒ වගේම තමයි ළමයින් සිටියදීත් මවුපියන් අනියම් සම්බන්ධතා සඳහා යොමුවීම නිසාත් ළමයින් හිංසනයට ලක්වෙනවා. ඊට අමතරව ආර්ථික ගැටලු, භාරකරුවන් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම නිසාත් ළමයින් හිංසනයට ලක්වෙන්න ඉඩ තියෙනවා. මෙවැනි හේතු නිසා ළමයින් හිංසනයට ලක්වීම සම්බන්ධයෙන් බොහෝ පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙනවා. එපමණක් නොවෙයි, නිවෙස් තුළ සිටියදීම දරුවන් සයිබර් අපරාධවලට ලක්වීම නිසාත් ළමා හිංසන බහුලව සිදුවන බවට අපට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.
ළමයින් සයිබර් අපරාධවලට ගොදුරුවීම ගැනත් කතා කරමු?
මේ වන විට ළමයින්ගේ නිරුවත් පින්තූර සහ නිරුවත් වීඩියෝ යහළුවන් අතර හුවමාරුවීම් වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම සමහර සූදු ක්‍රීඩා (ගේම්ස්) වලට ළමයින් ඇබ්බැහිවීම වැඩිවෙලා. එහි ප්‍රතිඵලයක් හැටියට සයිබර් අවකාශය තුළ ළමා සැකකරුවන් වැඩිවීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ගැහැනු ළමුන්ගේ නිරුවත් පින්තූර, නිරුවත් වීඩියෝ හුවමාරු කරන බවට තර්ජනය කරලා ගැහැනු ළමුන්ව බියවද්දලා තමන්ගේ පහත් අවශ්‍යතා ඉටුකර ගැනීමට අවුරුදු 14 – 18 පිරිමි ළමුන් පිරිසක් උත්සාහ කරන බවට පැමිණිලි ලැබෙනවා.
ඔබ ඉහතින් සඳහන් කළ ආකාරයට තවත් පාර්ශ්වයක් බිය වද්දමින් තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමට උත්සාහ කරන සහ විවිධ අපරාධවල යෙදෙන ළමයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද?
අවුරුදු 12ට වඩා වැඩි ළමුන්ට රටේ නීතිය බලපැවැත්වෙනවා. යම් ළමයෙක් සයිබර් අවකාශය ඔස්සේ තවත් ළමයකුට හිරිහැර කරනවා නම් ඒ හිරිහැර කරන ළමයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. රටේ නීතිය අනුව එය අපරාධයක්. එහෙම වුණාම සයිබර් අවකාශය තුළ වින්දිතයෙක් වෙනවා පමණක් නොවෙයි ළමයා සැකකරුවෙක් බවටත් පත්වෙනවා.
මවුපියන්ගේ රැකවරණය අහිමිවීම නිසා හිංසනයට ලක්ව සිටින ළමයින් වෙනුවෙන් අවශ්‍ය නීති උපදෙස් ගන්නෙ කොහොමද කියලා ඇතැම් වැඩිහිටියන්ට තවමත් පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ළමයා වෙනුවෙන් ඉදිරිපත්වන පාර්ශ්වයට නීතිඥයකුගේ සේවාව ලබාගන්න නොහැකිනම්, නීති ආධාර කොමිෂන් සභාව වෙත ගිහින් ආධාර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අදාළ තොරතුරු පරිවාස කාර්යාලයට භාරදෙන්නත් හැකියාව තිබෙනවා. නැතිනම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 අංකයට කතා කරලා ගත යුතු ක්‍රියාමාර්ග ගැන විමසීමක් කරන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින කාන්තා නිලධාරීන්ගෙන්, ළමා හිමිකම් නිලධාරීන්ගෙන්, ළමා ආරක්ෂක නිලධාරීන්ගෙන් හෝ ළඟම තිබෙන පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශ නිලධාරීන්ගෙන් අවශ්‍ය මගපෙන්වීම සහ අවශ්‍ය උපදෙස් ගන්නත් පුළුවන්කම තියෙනවා.
ළමයින්ට හිංසනයට, කෲරත්වයට ලක්වෙන බව දැක දැකම සමහරු නොදැක්කා සේ ඉන්නවා. එවැනි දේවලට මැදිහත් වෙලා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න අවශ්‍ය නැති නිසා නිහඬව ඉන්න එක හොඳයි කියලා සමහරු හිතනවා. එවැනි පුද්ගලයන්ට දෙන්න තියෙන උපදේශය මොකක්ද?
යම් ළමයෙක් කුමන ආකාරයක හෝ හිංසනයකට ලක්වෙනවා නම් ඒ ගැන අපට පැමිණිලි කරන්න බයවෙන්න එපා කියන පණිවුඩය තමයි ජනතාවට දෙන්න තියෙන්නේ. ළමයින් සම්බන්ධයෙන් අපිට පැමිණිල්ලක් ලැබුණාම අපි එය අදාළ පොලිසියට යොමුකරනවා. නමුත් පැමිණිල්ල කළ පුද්ගලයා ගැන කිසිම සඳහනක් කරන්නේ නෑ. පැමිණිල්ලට සම්බන්ධ තොරතුරු පමණයි අපි පොලිසියට දෙන්නේ. ඉන්පසුව විමර්ශන වාර්තාවක් කැඳවලා නිවැරැදිව නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා නියාමනයක් කරනවා. හරියට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති බවක් අපට පෙනී ගියොත් අපිම ඒ සඳහා මැදිහත් වෙලා අවශ්‍ය නීතිමය උපදෙස් දෙනවා. ළමයින් සම්බන්ධ තොරතුරු වාර්තා කරන්න ගිහින් තමන්ට ප්‍රශ්නයක් වෙයි කියලා කාට හරි හිතෙනවා නම් නිර්නාමිකව වුණත් අපිට පැමිණිලි කරන්න පුළුවන්. ළමා අපයෝජන වළක්වා ගැනීමට අවශ්‍ය නිසා අපි නිර්නාමික පැමිණිලිවලටත් අවසර දීලා තියෙන්නේ. එහෙම වුණ සමහර පුද්ගලයන් වෛරී සිතුවිලි හෝ වෙනත් හේතු නිසා අපිට අසත්‍ය පැමිණිලිත් ඉදිරිපත් කරනවා. රාජ්‍ය නිලධාරියකුට බොරු පැමිණිලි ඉදිරිපත් කිරීමත් දණ්ඩ නීති සංග්‍රහයට අනුව දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා "ළමයකුට සිදුවන ඕනෑම හිංසනයක් ගැන පැමිණිලි කරන්න. ඒත් අන් අයට පාඩම් උගන්වන්න කියලා බොරු පැමිණිලි කිරීමෙන් වළකින්න" කියලයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මොකද අසත්‍ය පැමිණිල්ලක් ගැන හොයන්න කාලය යෙදෙව්වාම සත්‍ය පැමිණිල්ලක් වෙනුවෙන් වෙන් කිරීමට තිබෙන කාලය හා ශ්‍රමය නැතිව යනවා. පොලිසිය තුළ මෙන්ම ළමා ආරක්ෂක අධිකාරිය තුළ සිටින්නේත් සීමිත නිලධාරීන් සංඛ්‍යාවක්. ළමයෙක් අපයෝජනයට ලක්වෙනවා කියලා අපිට නිර්නාමික පැමිණිල්ලක් ලැබුණොත්, එම පැමිණිල්ල ඉදිරිපත් කළේ කවුද කියලා අදාළ ප්‍රාදේශීය පොලිසියට අපි කියන්නේ නැහැ. නමුත් එම හිංසනය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් කරන අවස්ථාවකදී එම සිදුවීම යම් පුද්ගලයෙක් සමග පැවසුවා යැයි එම ළමයා පවසා තිබුණොත් එම පුද්ගලයා ගෙන්වලා සාක්ෂි සටහන් කරගැනීමට කටයුතු කරනවා.
කුඩා දරුවන් භාරකරුවෙක් ළඟ තබා මව්වරු විදේශගතවීම නිසාත් ළමයින් විවිධාකාරයේ හිංසනවලට ලක්වෙනවා නේද?
කුඩා දරුවන් දමා විදේශගත වන මව්වරුන්ට අදාළව නීතියක් නෙවෙයි රාජ්‍ය ප්‍රතිපත්තියක්ම තියෙනවා. ඊට අනුව අවුරුදු 5ට වඩා අඩු දරුවන් දමා මව්වරුන්ට විදේශගත වීම තහනම් බවයි 2022 වර්ෂයට පෙර තිබුණේ. නමුත් දැන් ඒ සීමාව අවුරුදු දෙක දක්වා අඩුකරලා තියෙනවා. රටේ ආර්ථික තත්ත්වයත් මේ සීමාව අඩුකිරීමට එක හේතුවක් වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පුද්ගලයකුට ඕනෑම රැකියාවක් කිරීමේ අයිතිය තියෙනවා. කාන්තාවක් වීම නිසා හෝ දරුවන් සිටින නිසා ඒ අයිතිය සීමා නොවිය යුතු බවටත් ඇතැම් පාර්ශ්වයන් අදහස් ඉදිරිපත් කළා. මේ සියලුම කරුණු සලකා බැලීමෙන් අනතුරුව වයස අවුරුදු 2ට වඩා අඩු දරුවන් සිටින කාන්තාවකට විදේශගතගතවීම තහනම් කර තිබෙනවා. නමුත් ළමා ආරක්ෂක අධිකාරියේ මතය නම් ඒ අවුරුදු දෙකේ සීමාව අවුරුදු 5 දක්වා වැඩි කළ යුතු බවයි.
ළමයින්ට වන අපයෝජන අවම කරගැනීම සඳහා වැඩිහිටියන් වගේම ළමයින්ව දැනුම්වත් කිරීමත් වැදගත් නේද?
ඔව්. ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් තමන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පාසල් ළමුන් හා මව්පියන් දැනුම්වත් කිරීමට වැඩසටහන් පවත්වනවා. ‘‘දුවේ පුතේ ඔයාගේ ශරීරය අයිති ඔයාට විතරයි. සමහර වැඩිහිටියන් නරක ආකාරයෙන් ඔබේ ශරීරය ස්පර්ශ කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් වහාම ඒ පුද්ගලයා ඉන්න තැනින් ඉවත් වෙන්න. අපි ඇඳුම් අඳින්නේ විලාසිතාවකට පමණක්ම නොවෙයි. අපේ පුද්ගලික ප්‍රදේශ ආවරණය කරගැනීමත් ඇඳුම් ඇඳීමේ එක අරමුණක්. ඒ විදිහට ආවරණය කරගෙන සිටින පුද්ගලික ප්‍රදේශවලට කවුරු හරි අත තියන්න එනවා නම් එතැනින් ඉවත්වන්න. විශ්වාසවන්ත වැඩිහිටියකුට මේ බව දැනුම් දෙන්න” ආදී වශයෙන් අපි පෙර පාසල් ළමයාගේ සිට සියලුම ළමයින්ව දැනුම්වත් කරනවා.
•සංවාදය - ශ්‍රියානි විජේසිංහ

