brand logo
logo
ආරෝග්‍යා මධ්‍යස්ථාන 1,000ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

ආරෝග්‍යා මධ්‍යස්ථාන 1,000ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

01 September 2026

දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ආරෝග්‍යා මධ්‍යස්ථාන 10ක් සඳහා මුල්ගල් තැබීම අද (01) සිදුවිය.


ඒ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.


මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ අද දින ඉදිකිරීම් ආරම්භ කරන ලද සියලු ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානවල ඉදිකිරීම් එළැඹෙන දෙසැම්බර් මස අවසන් කරන බවය.


එමෙන්ම එළැඹෙන ඔක්තෝබර් මාසයේදී තවත් මධ්‍යස්ථාන 25ක ඉදිකිරීම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් සනිටුහන් කරමින් ජනතාවට වඩාත් සමීප සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ කළුතර දකුණ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල් තබමින් මෙහි සමාරම්භය සනිටුහන් කරනු ලැබීය.


එමෙන්ම කළුතර දකුණ ආරෝග්‍යා මධ්‍යස්ථානය මගින් අවට ග්‍රාම නිලධාරීන් වසම්වල පුද්ගලයින් 7,000ක් පමණ ජනතාවට සෞඛ්‍ය සේවා සැලසීමටද නියමිතය.


තවද අද දිනයේදීම බලංගොඩ නගරය, මොනරාගල කිඹුලාවල, ගාල්ල අක්මීමණ, හම්බන්තොට ඕමාර, කෑගල්ල දෙහිඕවිට, ගම්පහ සූරියපාළුව, පොළොන්නරුව හිඟුරක්ගොඩ, බදුල්ල ගැමුණුපුර සහ නුවරඑළිය පිටවල යන ප්‍රදේශවල ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සඳහා ද අද මුල්ගල් තැබීම සිදු කරන ලදී.


සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙම එක් මධ්‍යස්ථානයක් ඉදිකිරීම් කටයුතු සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 50 ක් බවය.


මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ දැනට පවතින ළදරු හා මාතෘ සායන ගොඩනැගිළි ඇතුළු රජයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර මෙම කටයුතු සඳහා යොදා ගැනීමට පළාත් සභා හරහා මුදල් ලබා දී ඇති බවත් මෙම වසරේ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,500ක් සහ එළැඹෙන වසරේ රුපියල් මිලියන 2,000ක් යොදවන බවත්ය.

මෙම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 1,000 මගින් මෙරට ජනතාවට සෞඛ්‍ය සේවා ලබා දීමට කටයුතු කරන බවත් පැවසූ අමාත්‍යවරයා මේ වන විට ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 39ක සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක වන බවද පැවසීය.

 

More News..