brand logo
logo
ලෝකයම හෙල්ලූ රුමේෂ්  තරංග කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ රුමේෂ් තරංග කිරුළු රැගෙන දිවයිනට

15 September 2026


වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ආධිපත්‍ය තවදුරටත් තමන් සතු බව ඔප්පු කළ ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද (15) අලුයම දිවයිනට පැමිණියේය. 


තමා ලැබූ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන අතර, ඒ පිළිබඳ සියලුදෙනාට ස්තූතිය පිරිනැමූ රුමේෂ් ඉදිරියේ දී තමාට ලංකාව වෙනුවෙන් ලබාදීමට ඇත්තේ තවත් පදක්කම් තුනක් පමණක් බවද පැවසීය.


ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට පසු ලෝකයේ සුපිරි මලල ක්‍රීඩා තරු සහභාගී වූ ප්‍රධාන තරගාවලිය ලෙස සැලකෙන අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලියේ දී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රුමේෂ් රන් පදක්කම දිනාගැනීමට සමත්වුණි.


පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සුදුසුකම් ලබා සිටි ක්‍රීඩකයින් 8දෙනා අතරට වත්මන් ඔලිම්පික් ශූරයා වන පාකිස්තානයේ අර්ෂාඩ් නදීම්, වත්මන් ලෝක ශූරයා වන ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබෑගෝහි කෙශෝර්න් වෝල්කෝට්, දෙවරක් ලෝක ශූරතාව දිනා ඇති ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් සහ පසුගිය සමය පුරා ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටි යුරෝපානු ශූරයාවන ජර්මනියේ ජුලියන් වෙබර්ද

ඇතුළත්ව සිටියේය.


ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග එම ඉසව්වට එක්වුණේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ශූරයා සහ ඩයමන්ඩ් ලීග් ශූරයා මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ක්‍රීඩකයා ලෙසය.


එම ඉසව්වේ පළමු උත්සාහයේදී රුමේෂ් තරංගට දැක්වීමට හැකිවූයේ මීටර 75.89ක දක්ෂතාවක් පමණය.


පළමු වටය අවසන් වනවිට ජුලියන් වෙබර් තරගයේ පෙරමුණ ගනිද්දී, ඇන්ඩර්සන් පීටර්ස් දෙවන ස්ථානයේ පසුවූ අතර රුමේෂ් පසුවූයේ පස්වන ස්ථානයේය.


දෙවන වටයේදී ඇන්ඩර්සන් පීටර්ස්, ජුලියන් වෙබර්ව අබිබවා ගිය අතර එම වටයේදී මීටර 85.69ක දක්ෂතාවක් දැක්වූ රුමේෂ් තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.


වටයෙන් වටයට සිය දක්ෂතාව ඉහළ නංවාගත් රුමේෂ් තරංග තුන්වන වටයේදී මීටර 87.11ක දක්ෂතාවක් දක්වමින් ඉසව්වේ පෙරමුණ හිමිකර ගැනීමට සමත්වුණි.


රුමේෂ් තරංග එම ඉසව්වේ සිව්වන සහ අවසන් අවස්ථාවේදී මීටර 91.09ක දැවැන්ත විසිකිරීමක් සිදුකළේ, වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී තමාව අබිබවා යාමට හැකි කිසිවෙකුත් නොමැති බව නැවත නැවතත් තහවුරු කරමිනි.


ඒ අනුව පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ශූරයා සහ ඩයමන්ඩ් ලීග් ශූරයාවන රුමේෂ් තරංග වර්ල්ඩ් අල්ටිමේට් ශූරයා ලෙසත් කිරුළු පැළදීමට සමත්වුණි.


එම ජයග්‍රහණය වෙනුවෙන් රුමේෂ්ට අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගයක් හිමිවූ අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5කට ආසන්නය.

 

More News..