LPL 6 වැනි අදියර හෙට එස්.එස්.සීයෙන් ඇරැඹේ
16 July 2026 | නදුන්ක නෙත්සර
LPL 6 වැනි අදියර හෙට එස්.එස්.සීයෙන් ඇරැඹේ
16 July 2026 | නදුන්ක නෙත්සර
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 6වැනි අදියර හෙට (17 වැනිදා) සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී ඇරැඹෙන අතර තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කණ්ඩායම් නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15 වැනිදා) කොළඹදී පැවැත්විණි.
මෙවර තරගාවලියේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙයවනු ලබන අතර කලම්බු කැප්ස් කණ්ඩායමේ කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් සතුවේ. දිනේෂ් චන්දිමාල් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමත්, දසුන් ශානක ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමත් මෙහෙයවනු ලබන අතරවාරයේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වය භානුක රාජපක්ෂ හට හිමිව ඇත. මොයින් අලී, ශහීන් ෂා අෆ්‍රිඩි, ජේම්ස් නීශම්, ශහිබ්සදා ෆර්හාන්, රීසා හෙන්ඩ්‍රික්ස්, ශකිබ් අල් හසන් වැනි ජාත්‍යන්තර තලයේ මෙන්ම ෆ්‍රැන්චයිස් ක්‍රිකට්හි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් මෙන්ම මෙරට යොවුන් ක්‍රීඩකයන්ගෙන් මෙවර ද කණ්ඩායම් සමන්විත වේ.
පෙර අදියරේදී පැන නැගුණු තරග පවාදීමේ උත්සාහයන් පිළිබඳ ගැටලු හේතුවෙන් මෙවර එවැනි අවස්ථාවන් වැළැක්වීම සඳහා පෞද්ගලික ආයතනයක් යොදවා ඇති බව තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. මින් පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ද කටයුතු කර ඇති අදාළ ආයතනය තරගාවලි කාලසීමාවේදී මෙරට තුළ කටයුතු කරමින් සියලු දෑ අධීක්ෂණය කරනු ඇති බව එහිදී පැවසිණි. තරගාවලියේ හිමිකරුවන් නිරන්තරයෙන් වෙන්ස්වීම පිළිබඳව ද මෙහිදී යොමු කෙරුණු පැනයකට පිළිතුරුදෙමින්, එහි ගැටලුවක් ඇති බව පිළිගන්නා නමුත් ඇතැම් කණ්ඩායම් හිමිකරුවන් නුසුදුසු බව තීරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම ඔවුන් ඉවත්කිරීමට තීරණය කළ බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
තරගාවලියට ඉකුත් අදියරේදී හඳුන්වාදුන් 'පවර් බ්ලාස්ට්' පවර්ප්ලේ අවස්ථාව මෙවරද ක්‍රියාත්මක වන අතර 'ඉම්පැක්ට් ප්ලේයර්' නීතියද මෙවර ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයකු ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා අතරට නම් කිරීම අනිවාර්ය කර ඇත.
මෙවර තරගාවලියේ මූලික වටයේ තරග අගෝස්තු 2 වැනිදා දක්වා එස්.එස්.සී, රංගිරි දඹුලු සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණවල පැවැත්වෙන අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේ එල්.පී.එල් තරග පැවැත්වෙන පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයකි. අනතුරුව අගෝස්තු 8 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය දක්වා අවසන් වටයේ තරග සියල්ල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර ඇත. ගෝල් ගැලන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් තරග වදින සමාරම්භක තරගය හෙට රාත්‍රි 7.30ට ඇරැඹේ.

