brand logo
logo
'මුරසු' සුළි කුණාටුව නිසා උතුරු-නැගෙනහිර ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

'මුරසු' සුළි කුණාටුව නිසා උතුරු-නැගෙනහිර ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

02 November 2026


බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති 'මුරසු' සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට අනතුරු අඟවා තිබේ.


ඒ අනුව, කල්පිටියේ සිට මන්නාරම, කිළිනොච්චිය, යාපනය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වූ උතුරු සහ නැගෙනහිර වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල කුඩා යාත්‍රා මගින් ධීවර කටයුතුවල නිරත වීමෙන් නැවත දැනුම් දෙන තුරු වළකින ලෙස සියලුම ධීවරයින්ට දැනුම් දී ඇත.


එමෙන්ම, මේ වන විටත් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සිටින කුඩා යාත්‍රාවල ධීවරයින් පවතින දැඩි සුළං තත්ත්වය හමුවේ වහාම ආරක්ෂිත මුහුදු ප්‍රදේශයකට හෝ ගොඩබිම වෙත පැමිණෙන ලෙස ද දැනුම් දී තිබේ.


මේ අතර, දිවයිනේ අනෙකුත් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වන ධීවරයින් ද තම ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය සහ මුහුදු රළවල ස්වභාවය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


එසේම, මුහුදු යාමේදී, ධීවර කටයුතුවල නිරත වීමේදී සහ නැවත ගොඩබිමට පැමිණීමේදී ජීවිතාරක්ෂක කබා පැළඳීම අනිවාර්යයෙන්ම සිදු කරන ලෙස ද ධීවරයින්ගෙන් ඉල්ලා සිටියි.


තවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ අනතුරු ඇඟවීම් සහ නිවේදන පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවන ලෙස ද ධීවර ප්‍රජාවට දැනුම් දී තිබේ.

 

 

More News..