brand logo
logo
නව විදේශ ගමන් බලපත්‍රයක් සහ හැඳුනුම්පතක් සඳහා ෂෙයික් හසීනා කළ ඉල්ලීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කරයි

නව විදේශ ගමන් බලපත්‍රයක් සහ හැඳුනුම්පතක් සඳහා ෂෙයික් හසීනා කළ ඉල්ලීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කරයි

09 November 2026


බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ඉන්දියාවේ සිට යළි මව්බිමට පැමිණීම සඳහා නව විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ඉල්ලා ඇති බව විදෙස් පුවත් පවසයි.


2024 වසරේදී රටින් පලා යෑමෙන් පසු ඇය මෙලෙස නිල වශයෙන් සිය මව්බිම සමඟ සම්බන්ධතා පැවැත්වූ පළමු අවස්ථාව මෙය වන අතර, බංග්ලාදේශ රජය ඇයගේ මෙම ඉල්ලීම ක්ෂණිකව ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ.


මාරාන්තික විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ඇයගේ දිගුකාලීන පාලනය අවසන් වී වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇති පසුබිමක, දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට නැවත පැමිණීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ෂෙයික් හසීනා ගෙන ඇති පැහැදිලිම පියවර මෙය වේ.


ඇයගේ පක්ෂය මේ වන විට තහනම් කර ඇති අතර, මෙම තත්ත්වය හමුවේ නව දේශපාලන හා නීතිමය උණුසුම්කාරී තත්ත්වයන් මතු වීමේ ප්‍රවණතාවක් පවතී.

ශිෂ්‍යයන් මුල්වී ගෙනගිය විරෝධතාවලට එරෙහිව මාරාන්තික මර්දනයක් දියත් කිරීමේ නියෝග ලබා දීම සම්බන්ධයෙන් බංග්ලාදේශ යුද අපරාධ අධිකරණය විසින් ඇයගේ නොපැමිණීම තුළ ඇයට මරණ දණ්ඩනය නියම කරන ලදී.


කෙසේ වෙතත්, ඇය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.


තම සේවාදායකයා වෙනුවෙන් ලන්ඩන් නුවර පිහිටි 'මැට්‍රික්ස් චේම්බර්ස්' (Matrix Chambers) නීතිඥ මණ්ඩලය, නවදිල්ලියේ බංග්ලාදේශ තානාපති කාර්යාලයේ වැඩබලන මහ කොමසාරිස් ප්‍රීති රහමාන් වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, අන්තර්වාර රජය සහ අනෙකුත් බලධාරීන් විසින් ඇයගේ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත අවලංගු කර ඇති බවට වාර්තා වන බැවින්, නව විදේශ ගමන් බලපත්‍රයක් සහ හැඳුනුම්පතක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.


කෙසේ වෙතත්, බංග්ලාදේශ රජය ප්‍රකාශ කර ඇත්තේ රටක් ලෙස "ත්‍රස්තවාදියෙකුට විදේශ ගමන් බලපත්‍ර ලබා නොදෙන" බවය.


"ඇය පලාගිය අපරාධකාරියක්" බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමායුන් කබීර් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.


ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිට ඇති නමුත් ඇයව ඉන්දියාවෙන් පිටුවහල් කරන ලෙස බංග්ලාදේශය කළ ඉල්ලීම පරීක්ෂා කරමින් සිටින බවත්, නව රජය සමඟ නිර්මාණශීලීව කටයුතු කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය බවත් ඉන්දියානු අමාත්‍යාංශය අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කර තිබුණි.


හසීනාගේ පාලන සමයේදී අගමැතිවරිය ලෙස වසර 20ක් රට පාලනය කළ ඇයගේ 'අවාමි ලීගය' පක්ෂය බිඳවැටීමට පෙර රටේ විශාලම පක්ෂය විය.

ඇයගේ පක්ෂයේ බොහෝ සගයන් මේ වන විට සිරගත කරනු ලැබ සිටින අතර, තවත් පිරිසක් ඉන්දියාවේ හෝ වෙනත් රටවල ජීවත් වෙති.


හසීනා තවමත් ජනතාව අතර යම් මට්ටමක සහයෝගයක් භුක්ති විඳින අතර, ඇය නැවත පැමිණීම මගින් රට තුළ දේශපාලන බෙදීම් තවත් තීව්‍ර විය හැකිය.




 

More News..