brand logo
logo
නෝර්වේ ප්‍රවාහන ඇමැති වූ ලංකාවේ දියණිය

නෝර්වේ ප්‍රවාහන ඇමැති වූ ලංකාවේ දියණිය

20 September 2026 | රුක්ලන්ති පෙරේරා


ලෝක සිතියමේ කුඩා තිතක් බඳුවූ මේ පුංචි දිවයිනේ ඉපිද ලොව නන්දෙස බලවත් යැයි සැලකෙන රටවල මුල් පුටුවල ඉහළ තානාන්තර හොබවන ශ්‍රී ලාංකිකයන් ගැන දැන් දැන් වැඩි වැඩියෙන් ඇසෙන්නට පටන්ගෙන තිබීම සතුට දනවන කාරණයකි. විශේෂයෙන්ම අනාදිමත් කාලයක සිට තුන්වන ලෝකයේ රටක් ලෙස සැලකෙන ලක්දිව, සෙසු බලවත් යැයි සම්මත රටවල් සමග කරට කර සිටුවීමට එවන් ප්‍රගතීන්ගෙන් ලැබෙන පිටුවහල ඉමහත්ය. එවන් ගෞරවයක් ලෙස සැලකිය හැකි තවත් එක් ප්‍රගතියක් පසුගියදා නැවතත් යුරෝපාකරයෙන් ඇසිණි.


ඒ, ශ්‍රී ලාංකිකයන්ට අභිමානයක් දනවන බල පෙරළියක් පසුගියදා ජාත්‍යන්තර දේශපාලන වේදිකාවේ සිදුවීමත් සමගය. නෝර්වේ රාජ්‍යයේ අගමැතිවරයා කළ කැබිනට් මණ්ඩල සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස එරට නව ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස ලාංකික සම්භවයකින් යුතු කැම්සි ගුණරත්නම් පත්වීම එකී සුවිශේෂි සංසිද්ධියයි.


ඇගේ ඒ පත්වීම තවත් ආකාරයකින් සුවිශේෂ වන්නේ ලංකාවේ උපන් ඇය ළදැරි වියේදීම සිය මව්පියන් සමග නොර්වේ රාජ්‍යයට පලායන්නේ එකල මුළු සිරිලකම ගිලගෙන තිබු බිහිසුණු සිවිල් යුද්ධයෙන් දිවි ගලවා ගැනීම පිණිස සරණාගතයකු ලෙස නිසාය. එවන් තත්ත්වයක සිට ඇය විදෙස් රටක ඉහළම නිලයක් දැරීම දක්වා පැමිණි ගමන සැබවින්ම සුළුකොට තැකිය නොහැකි තරම් දැවැන්තය. විශිෂ්ටය.


ඒ නිසාම ඇගේ මෙම ජයග්‍රහණය සමරමින් මෙරට විදෙස් කටයුතු අමාත්‍ය විජිත හේරත් ද x ගිණුම ඔස්සේ ඇයට සුබ පැතුම් එක් කිරීමට පියවරගෙන තිබිණි. තිස්අටවන වියේ පසුවන කැම්සි නෝර්වේ පාර්ලිමේන්තුවේ ඔස්ලෝ නුවර කම්කරු පක්ෂය නියෝජනය කරමින් දීර්ඝ කාලයක සිට මනා කුසලතාවකින් යුතුව දේශපාලනයේ නියැළි කාන්තාවක ලෙස එරට ජනාදරයට ලක්වූවකි.


2021 වසරේ සිට නෝර්වේ රජයේ ප්‍රවාහන ඇමැති ධුරය හෙබවූ ජොන්-අයිවාර් නිගාඩ්ගේ එකී ධුර කාලය අවසන් කරමින් නව කැබිනට් සංශෝධනයක් කළේ එරට අගමැති ජොනාස් ගාර් ස්ටෝර් ය. ගුණරත්නම්ට අමතරව තවත් අලුත් අමාත්‍යවරුන් දෙදෙනකු වන අයිලීන් ෆුගෙල්ස්නස් හා ටෝර්ගෙයාර් මිකැල්සන් ද අගමැතිවරයා විසින් රජයට හඳුන්වා දුන්නේය. කැම්සි ගුණරත්නම්ට රජයේ ප්‍රවාහන ඇමැති ධුරය පිරිනමමින් අගමැතිවරයා එකී පත්වීම සාධාරණීකරණය කළේ ඇය තමාට මීට පෙර ලබාදුන් කාර්යයන් මනා දේශපාලනික කුසලතාවකින් යුතුව, මහත් වගකීමක් ඇතිව ඉටුකළ අයකු ලෙස සමස්ත රටම එකට යාකරන රටේ මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් හා මුහුදු ගමනාගමනය යන මේ සියලු ආකාරයේ පොදු ප්‍රවාහන මාධ්‍ය අධීක්ෂණය කරමින් සිය වගකීම අකුරටම ඉටු කරනු ඇති බව කියමිනි.


එසේම ඇය නෝර්වේ රාජ්‍යයේ උතුරු හා දකුණු දිග යන අන්ත දෙකේම හැදී වැඩුණු අයකු ලෙස දැන් සමස්ත රටම ආවරණය වන පරිදි වගකීම් සහගත සේවයක් ලබාදෙනු ඇති බවට ද අගමැතිවරයා බලාපොරොත්තු පළ කළේය. කෙසේවුවද ඇගේ මෙම පත්වීම නෝර්වේහි යම් යම් පාර්ශ්ව අතර යම් යම් ආකාරයේ විවේචනයන්ට තුඩු දී ඇති බවද කනින් කොනින් ඇසෙමින් තිබේ.

 

More News..