තේරීම් කමිටුවේ මාධ්‍ය හමුව මැද බ්‍රෙන්ඩන්ගේ ඇකඩමිය ගැන හඬපටයක් එළියට
10 September 2026 | සසිත සේනානායක
තේරීම් කමිටුවේ මාධ්‍ය හමුව මැද බ්‍රෙන්ඩන්ගේ ඇකඩමිය ගැන හඬපටයක් එළියට
10 September 2026 | සසිත සේනානායක
තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස දේශීය තරග නැරැඹීමට කටයුතු කරන බවත්, ක්‍රීඩකයන් තේරීමේදී මූලිකවම තමන්ගේ ඇස් විශ්වාස කරමින් තේරීම් සිදු කරන බවත් 'අරුණ' විසින් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන ඊයේ (9 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් දේශීය තරග නැරැඹීමට නොයන්නේ යැයි නැගෙන විවේචනය සම්බන්ධයෙන් 'අරුණ' ඔහුගෙන් උක්ත පැනය විමසා සිටියේය.
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා මාධ්‍ය හමුවකට එක්වූ පළමු අවස්ථාව වූ මෙය එම කමිටුවේ තීරණ හා සැලසුම් ආදිය පිළිබඳ පිළිබඳ විමසීමට අවස්ථාවක් ලෙසින් පැවැත්විණි.
එසේම පසුගිය දා සිදුවූ සීමිත පන්දුවාර නායකත්ව මාරුව ගැන මාධ්‍ය මෙහිදී තේරීම් කමිටු ප්‍රධානයාගෙන් විමසනු ලදුව, සංචිතය නම් කිරීමේදී තරගාවලියේ නායකයා ලෙස නම් කළ කුසල් මෙන්ඩිස් ඒ වන විට නිසි ශාරීරික යෝග්‍යතාවෙන් යුක්තව නොසිටි බවත්, ඔහු තරගාවලිය පැවැත්වෙන කාලය වන විටත් ශාරීරික යෝග්‍යතාවට පැමිණ නොතිබූ බවත්, ඒ හේතුවෙන්, පසුව චරිත් අසලංක නායකත්වයට පත් කිරීම සිදුකළ බවටත් පිළිතුරු ලැබුණි. එසේනම් කුසල්ව සංචිතයට නම් කළේ කුමන පදනමක් යටතේ ද යන්න මාධ්‍ය වෙතින් ප්‍රශ්න නැගුණු කල, කුසල් මෙන්ඩිස් මෙම සංචිතයට නම් වූයේ ශාරීරික යෝග්‍යතාව සපුරාලීමට යටත්ව නමුත් අදාළ සංචිතය ප්‍රකාශයට පත්කළ මාධ්‍ය නිවේදනයේ ඒ බැව් සඳහන් නොවීම අඩුපාඩුවක් වූ බවත් සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දීර්ඝකාලීන සැලැසුමකට අනුව එක්කරගෙන සිටි තුන් ඉරියව් වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක සංචිතවලින් ඉවත් කොට වසර දෙකකින් පසු දසුන් ශානක එක්දින සංචිතයට ඇතුළත් කිරීම ගැන මාධ්‍ය කළ විමසූ විට සභාපතිවරයා, කණ්ඩායමේ 7 වැන්නා ලෙස පන්දු යැවිය හැකි පිතිකරුවකු අවශ්‍ය වූ බවත්, එබැවින් දසුන් සංචිතයට එක් කළ බවත් පැවැසීය. ඒ පිළිබඳ විමසමින් දසුන්ගේ වත්මන් සාර්ථකත්වය මත විස්සයි විස්ස කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවකු ලෙස යොදාගනිමින් වැඩි සාර්ථකත්වයක් අත්කර ගැනීමේ සැලැසුමක් තිබේ දැයි 'අරුණ' සභාපතිවරයාගෙන් විමසූ විට, විස්සයි විස්ස ආකෘතියේ නිශ්චිත පිතිකරණ අනුපිළිවෙළක් නොමැති බවත්, තරගය අනුව එය සැලසුම් කරන බවටත් පිළිතුරු ලැබුණි.
මෙහිදී තේරීම් කමිටු සාමාජිකයෙක් වන බ්‍රෙන්ඩන් කුරුප්පු විසින් ඇතැම් ක්‍රීඩා සමාජවල පුහුණු කඳවුරු පවත්වාගෙන යාම ළබැඳියාවන් අතර ගැටුමට හේතුවක් නොවන්නේද යනුවෙන් මාධ්‍ය විසින් ප්‍රශ්න කළ අතර, එයට පිළිතුරු දුන් සභාපතිවරයා, බ්‍රෙන්ඩන් කුරුප්පුගේ එම යෙදීම අතීතයේ පැවැති දෙයක් පමණක් බවත් වත්මනේ ඔහු පරිවර්තන කමිටුවේ කටයුතු වෙනුවෙන් සහමුළින්ම යෙදෙන බවක් ප්‍රකාශ කෙළේය. අනතුරුව 'අරුණ' පුවත්පතේ අගෝස්තු 14 වැනිදා 'පරිවර්තන කමිටුවේ ආශිර්වාදයෙන්, ඇකඩමි දෙකක් ඇත්තෙක් ක්‍රිකට් තේරීම් කමිටුවේ' යන ශීර්ෂයෙන් යුතුව පළ වූ පුවත සඳහා පාදක කරගත් උපායමාර්ගික දුරකථන ඇමතුමේ හඬ පටය ‘අරුණ’ මාධ්‍යවේදියා විසින් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ඇසීමට සලස්වන ලදි. මේ වන විටත් බ්‍රෙන්ඩන් කුරුප්පු සිය ඇකඩමි පවත්වාගෙන යන බවට එම හඬපටයේ ඇතුළත් සංවාදයෙන් පැහැදිළිව ප්‍රකාශ වුවද, ‘ඕකෙ සත්‍යතාවය මට තහවරු කරගන්න බැහැනේ’ යන්න තේරීම් කමිටු සභාපතිවරයාගේ සෘජු පිළිතුර විය. නමුත් පරිවර්තන කමිටු සාමාජිකයකු මෙවැනි ක්‍රිකට් ඇකඩමියක් පවත්වාගෙන යෑම, සිය තේරීම් කටයුතුවලට කිසිදු බලපෑමක් නොවන බවට තමන් සහිතික වන්නේ යැයි හෙතෙම එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
නවක ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථාන හිමිනොවීම පිළිබඳ මාධ්‍ය හමුවේ නැගුණු පැනයේදී කණ්ඩායමේ ක්‍රීඩකයන් පුරප්පාඩු වීම මත ඒ සඳහා අවස්ථාව හිමිවන බව ප්‍රකාශ කළ සභාපතිවරයා නිසි ක්‍රීඩකයන්ට නිසි කාලයේදී අවස්ථාව හිමිකර දීමට බලාපොරොත්තු වන බවද පැවැසීය.

