වාරණාසි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙසැම්බර් 2 විවෘත කෙරේ
27 November 2026
වාරණාසි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙසැම්බර් 2 විවෘත කෙරේ
27 November 2026
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සංස්කෘතික හා ආගමික අනන්‍යතාවය පිළිබිඹු කරමින් ඉදිකරන ලද වාරණාසි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එළඹෙන දෙසැම්බර් 2 වැනිදා නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය.
අක්කර 30කට වැඩි භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 450කි.
එකවර ප්‍රේක්ෂකයින් 30,000කට තරග නැරඹිය හැකි පරිදි ඉදිකර ඇති මෙහි ආසන ධාරිතාව, ඉදිරි අවශ්‍යතා මත 40,000 දක්වා පුළුල් කිරීමට ද සැලසුම් කර තිබේ.
ශිව දෙවියන්ගේ සංකේත සහ වාරණාසි නගරයේ පෞරාණික ශිෂ්ටාචාරය ආභාෂයට ගනිමින් නිමවා ඇති සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පයකින් මෙම ක්‍රීඩාංගණය සමන්විත වේ.
අඩ සඳ හැඩැති වහල ආවරණ, ත්‍රිශූලයක හැඩය ගත් විදුලි ආලෝක කුළුණු, වාරණාසි ගංගා ඝාට් හි පඩිපෙළ රටාවන්ට අනුව සැකසූ ප්‍රේක්ෂකාගාර ආසන සහ 'ඩමරු' (Damaru) වාද්‍ය භාණ්ඩයේ හැඩයෙන් නිර්මිත මාධ්‍ය කුටිය මෙම ක්‍රීඩාංගණයට සුවිශේෂී පෙනුමක් ලබා දී ඇත.
නවීන තාක්ෂණික පහසුකම් රැසකින් යුත් මෙහි ප්‍රධාන තණතීරු 9ක් සහ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් අතිරේක තණතීරු 5ක් ස්ථාපිත කර තිබේ.
එමෙන්ම, මිලිමීටර් 100 දක්වා වූ අධික වර්ෂාපතනයකදී වුවද මිනිත්තු 20-25ක් වැනි කෙටි කාලයක් තුළ ක්‍රීඩා පිටිය යළි තරග සඳහා සූදානම් කළ හැකි දියුණු ජලාපවහන පද්ධතියක් ද මෙහි ස්ථාපිත කර ඇත.
මීට අමතරව වාහන 1,500කට ආසන්න ප්‍රමාණයක් ගාල් කිරීමේ පහසුකම් මෙහි සලසා ඇති අතර, ඉදිරියේදී එය තවදුරටත් පුළුල් කිරීමට නියමිතය.
2023 වසරේ සැප්තැම්බර් 23 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් මුල්ගල තැබුණු මෙම ක්‍රීඩාංගණය; කාන්පූර්, ලක්නව්, ග්‍රේටර් නොයිඩා සහ සයිෆායි යන නගරවලට පසුව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට එක්වන 5 වැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්වේ.
ආරම්භක අදියරේදී දේශීය තරග පැවැත්වීමට අපේක්ෂිත මෙම ක්‍රීඩාංගණයේ, ඉදිරියේදී කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරග පැවැත්වීමට ද උත්තර් ප්‍රදේශ් ක්‍රිකට් සංගමය සැලසුම් කර තිබේ.


