Best News Website award
brand logo
logo
ලෝක ධීවර දිනය වෙනුවෙන් ධීවර අමාත්‍යවරයාගෙන් සුබ පැතුම් පණිවුඩයක්

ලෝක ධීවර දිනය වෙනුවෙන් ධීවර අමාත්‍යවරයාගෙන් සුබ පැතුම් පණිවුඩයක්

21 November 2026


ධීවරයින්ගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ලබාදෙමින් ඔවුන්ගේ ජීවිතවලට නිසි රැකවරණයක් සහ අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩගැනීම ආණ්ඩුවේ අරමුණ බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (21) දිනට යෙදී ඇති ලෝක ධීවර දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.


ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා වෙසෙන සියලුම ධීවර ප්‍රජාවට, සාගර සම්පත් මත යැපෙන ජනතාවට සහ ධීවර කර්මාන්තයේ නියැලී සිටින සැමට සිය ගෞරවනීය ආචාරය පුද කරන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

ගෝලීය ආහාර සුරක්ෂිතතාව, පෝෂණය, රැකියා උත්පාදනය සහ ජනතාවගේ ජීවනෝපායන් තහවුරු කිරීම සඳහා ධීවර ක්ෂේත්‍රය අතිශය වැදගත් දායකත්වයක් සපයයි.


සාගර සම්පත් ආරක්ෂා කරමින් ඒවා තිරසර ලෙස භාවිත කිරීම තුළින් අනාගත පරපුර වෙනුවෙන් ද සශ්‍රීක සාගර පරිසරයක් උරුම කර දීම සැමගේ වගකීමක් බව ද රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කරයි.

ධීවර දින සුබ පැතුම් පණිවුඩයේ තවදුරටත් දක්වා ඇත්තේ, වත්මන් ලෝකයේ සාගර ආර්ථිකය (නීල ආර්ථිකය) ප්‍රමුඛතම ආර්ථික ක්ෂේත්‍රයක් ලෙස වර්ධනය වෙමින් පවතින බවය.


මෙරට වටා විශාල සාගර සම්පතක් පවතින අතර, එම සම්පත් නිසි ලෙස හා තිරසරව කළමනාකරණය කිරීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ධීවර ප්‍රජාවගේ ආදායම සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ද විවිධ අවස්ථා නිර්මාණය කළ හැකි බව ද එහි සඳහන් කර ඇත.


2026 වසරේ ලෝක ධීවර දිනය මගින් ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රය තුළ කාන්තාවන් සහ තරුණ පරපුර සඳහා ඇති අවස්ථා පුළුල් කිරීම, ආරක්ෂිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීම, කම්කරු අයිතිවාසිකම් තහවුරු කිරීම සහ ගෞරවනීය රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම යන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.


මෙම ජාත්‍යන්තර අරමුණු අපේ රටේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීමටත්, ඒ හා බැඳුණු ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීමටත් මනා මඟපෙන්වීමක් සපයයි.


ධීවර ප්‍රජාවගේ ආර්ථික හා සමාජීය සුරක්ෂිතතාව තහවුරු කිරීම, ඔවුන් මුහුණ දෙන වෘත්තීය අභියෝග සඳහා තිරසර විසඳුම් ලබා දීම සහ සාගර සම්පත් සුරකිමින් ඵලදායීතාව ඉහළ නැංවීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණු වන බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සඳහන් කළේය.


නවීන තාක්ෂණය, නව ධීවර ක්‍රමවේද, වෙළෙඳපොළ අවස්ථා, අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයන්හි නව ප්‍රගතියක් ඇති කරමින් ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින බව ඔහු කියාසිටියේය.


ධීවරයින්, මත්ස්‍ය නිෂ්පාදකයින්, වෙළෙඳුන්, සැකසුම් කර්මාන්තයේ නියැලෙන්නන් සහ සමුද්‍රීය සේවා සපයන්නන් ඇතුළු සාගර ආර්ථිකය මත යැපෙන සෑම පුද්ගලයෙකුගේම සුබසාධනය ඉහළ නැංවීම කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.


විශේෂයෙන්ම කාන්තාවන්ට සහ තරුණයින්ට මෙම ක්ෂේත්‍රය තුළ වැඩි අවස්ථා හිමිකර දෙමින්, ස්වයංපෝෂිත ආර්ථික ජීවිතයක් ගොඩනඟා ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වන බව රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේය.


‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’යන අපගේ ප්‍රතිඥාව නිසැකවම යථාර්ථයක් බවට පත් කිරීමේදී ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ඔවුන්ගේ පවුල්වල ආර්ථික ප්‍රගතිය සහ සාගර ආර්ථිකයේ වර්ධනය ප්‍රමුඛ ස්ථානයක් ගනු ඇත.


ධීවරයින්ගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ලබා දීමත්, ඔවුන්ගේ ජීවිතවලට නිසි රැකවරණයක් සහ අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගීමත් වත්මන් ආණ්ඩුවේ අරමුණ වන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 

More News..