වැරැදි කරන රියැදුරන්ට ජුනි මස සිට වැඩ වරදියි
07 February 2026 | එෆ්. අස්ලම්
වැරැදි කරන රියැදුරන්ට ජුනි මස සිට වැඩ වරදියි
07 February 2026 | එෆ්. අස්ලම්
රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ වැඩසටහන ජුනි මාසයේ සිට ආරම්භ කරන බව පොලිස් රථවාහන මූලස්ථානය සඳහන් කරයි.
මේ අනුව අකුසලතා ලකුණු 24 ක් සම්පූර්ණ වන සෑම රියැදුරකුගේම රිය බලපත්‍රය සැලකිය යුතු කාලයකට අවලංගු කෙරෙන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී. ජේ. සේනාධීර පැවසීය.
රථවාහන වැරැදි ඛාණ්ඩ අනුව ලකුණු ලබාදීමේ ආකාරය හා ලකුණු 24 සම්පූර්ණ වන රියැදුරන්ගේ රිය බලපත්‍රය අවලංගු කෙරෙන කාලය පිළිබඳ තීරණය මෙම වැඩපිළිවෙළ ගැන තීරණය කිරීමට පත්කර ඇති කමිටුව මගින් ගනු ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
2022 වසරේදී මෙම ක්‍රමවේදය හඳුන්වා දීමේදී ලකුණු 24 ක් ලබාගන්නා රියැදුරෙකුගේ රිය බලපත්‍රය වසර දෙකකට අහෝසි කිරීමට නිර්දේශ වී තිබිණි.
එහෙත් අවලංගු වන එම කාලය සම්බන්ධයෙන් අවසන් තීරණය මෙම ක්‍රමවේදිය සකස් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව විසින් ගනු ඇතැයි ද හෙතෙම කීවේය.
Gov pay හරහා මාර්ග ගතව දඩ මුදල් ගෙවීමේදී රියැදුරු අකුසලතා පද්ධතියට ලකුණු එකතු වන බවද එසේම ඉදිරියේ තැපැල් කාර්යාල මගින් ද ඒ ඒ වැරදි සම්බන්ධයෙන් පද්ධතියට ලකුණු ඇතුළත් කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
මෙමගින් රථවාහන අනතුරු විශාල වශයෙන් අවම කරගැනීමට හා සියලුම රියැදුරන් විනීත රියැදුරන් බවට පත්කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම කීවේය.

