brand logo
logo
වසර 52ක් දිග්ගැස්සුණු ඉඩම් නඩුව අහවරයි

වසර 52ක් දිග්ගැස්සුණු ඉඩම් නඩුව අහවරයි

21 February 2024 | කේ.එස්.උදයකුමාර

කුරුණෑගල පිහිටි "දමුණුගහ මුලවත්ත" නමැති පර්චස් 90 ක ඉඩමක් සම්බන්ධයෙන් වසර 52 කට ආසන්න කාලයක් පැවැති නඩු විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉඩමේ පැමිණිලිකරුගේ වාසියට තීන්දුව ප්‍රකාශයට පත් කළේය.


එස්.තුරෙයි රාජා, ඒ .එච්.එම්.ඩී.නවාස් සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්හ.


"දමුණුගහමුලවත්ත" නමැති ඉඩමේ මුල් පදිංචිකරුවන් නෙරපා හැරීම සම්බන්ධයෙන් අදාළ ඉඩමේ හිමිකරු විසින් 1972 වසරේ කුරුණෑගල දිසා අධිකරණය හමුවේ මුලින්ම නඩු පැවරුවේය.


එම නඩුව දීර්ඝ ලෙස විභාග කළ කුරුණෑගල දිසා අධිකරණය විසින් 1976 මාර්තු 29 වනදා පැමිණිලිකරු එම ඉඩමෙන් නෙරපීම නීතියට පටහැනි යැයි තීන්දු කරමින් පැමිණිලිකරුගේ වාසියට තීන්දුව ප්‍රකාශයට පත් කළේය.


එම තීන්දුවෙන් සෑහීමකට පත් නොවූ විත්ති පාර්ශ්වය අදාළ දිසා අධිකරණයේ තීන්දු බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන ලදී.


එම අභියාචනා පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය 1984 ඔක්තෝබර් මස 25 වැනි දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කුරුණෑගල දිසා අධිකරණයේ තීන්දුව බල රහිත කිරීමට තීන්දු කළේය.


කුරුණෑගල දිසා අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී වැදගත් සාක්ෂි ලෙස ඉදිරිපත් කෙරුණු ලේඛන කිහිපයක් දිසා විනිසුරුවරයා විසින් සැලකිල්ලට භාජනය කර නොමැති බවත් ඒ අනුව ඔහුගේ තීන්දුව දෝෂ සහිත බවත් අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් කළේය.


ඒ අනුව කුරුණෑගල දිසා අධිකරණය විසින් ලබාදුන් තීන්දුව අවලංගු කළ අභියාචනාධිකරණය එම නඩුව යළි විභාග කොට අලුතින් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලෙස කුරුණෑගල දිසා අධිකරණයට නියෝග කර තිබිණි.


ඒ අනුව අදාළ නඩුව සම්බන්ධයෙන් නව විභාගයක් සිදු කළ කුරුණෑගල දිසා අධිකරණය 1997 අප්‍රේල් මස 28 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැමිණිලිකරුට පක්ෂව තීන්දුව ප්‍රකාශයට පත් කළේය.


ඉන් අනතුරුව විත්තිකරු මියගිය අතර ඔහු වෙනුවෙන් ආදේශිත විත්තිකරුවකු මගින් එම දිසා අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන ලදී.


2011 දෙසැම්බර් 02 අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කුරුණෑගල දිසා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ තීන්දුව අහෝසි කරමින් විත්තියට පක්ෂව තීන්දුව ප්‍රකාශයට පත් කළේය. එම තීන්දුවෙන් අතෘප්තියට පත් පැමිණිලිකාර පාර්ශ්වය 2013 මැයි 06 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.


දශකයකට ආසන්න කාලයක් පැවැති නඩු විභාගයෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ඉඩම සම්බන්ධයෙන් පැමිණිල්ලට පක්ෂව තීන්දුව ප්‍රකාශයට පත් කළේය.


දිසා අධිකරණය හමුවේ පැවැති ඉඩම් නඩුවක් අවසන් කිරීම සඳහා පුරා වසර 52 කට ආසන්න කාලයක් ගත වී තිබීම මෙහි විශේෂත්වයක් බවත් නීතිවේදීහු පෙන්වා දෙති.

 

More News..