brand logo
logo
උසස් පෙළෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සිසුන්ට වසර 04ක් බලා සිටීමට සිදු වෙයි ?

උසස් පෙළෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සිසුන්ට වසර 04ක් බලා සිටීමට සිදු වෙයි ?

02 October 2026

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු විසඳීමට ආණ්ඩුව පියවර නොගැනීම හේතුවෙන් 2025 උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමට හෝ ඔවුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකියාවක් නොමැති බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.


එහි ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය මෙම අර්බුදය ඇති වීමට ප්‍රධාන හේතුව වී ඇති බවය.


ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එක් පීඨයක 2024 උසස් පෙළ සිසුන්ගේ පළමු සතියේ අධ්‍යයන කටයුතු ආරම්භ වූයේ ද පසුගිය සතියේ වන බවය.


මෙවැනි තත්ත්වයක් හමුවේ 2025 කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී බඳවා ගැනීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවත්, ශිෂ්‍ය කණ්ඩායම් 04ක් සිටිය යුතු විශ්වවිද්‍යාල තුළ දැනටමත් කණ්ඩායම් 05ක් හෝ 06ක් රැඳී සිටින බවත් ඔහු පැවසීය.


උසස් පෙළ අවසන් කිරීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්ට වසර 02ක් හෝ 03ක් නිවසට වී බලා සිටීමට සිදුවී ඇති අතර, පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී එය වසර 04ක් දක්වා දීර්ඝ වීමේ බරපතළ අවදානමක් නිර්මාණය වී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.


පසුගිය කාලය පුරා මෙම ශිෂ්‍ය කණ්ඩායම් කළමනාකරණය කරගැනීමට ආචාර්යවරුන් කටයුතු කළ ද, තවදුරටත් මෙවැනි තත්ත්වයක් යටතේ කටයුතු කිරීමට ආචාර්යවරුන් සූදානම් නොමැති බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා:

"මේක මං හිතන්නේ හැම වසරකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂයෙන්ම ආණ්ඩුව එකතු වෙලා කරන වැඩක් තමයි, ඔය බඳවා ගැනීම් එක්කම ඉන්න ශිෂ්‍ය ප්‍රමාණයත් වැඩි කරනවා. දැන් මේ පාරත් ඒකම තමයි කරලා තියෙන්නේ. දැනට බඳවා ගන්න ශිෂ්‍ය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් එකතු කරලා බඳවා ගන්න කියලා එවලා තියෙනවා. අපි පැහැදිලිවම කියන්නේ සැප්තැම්බර් නෙමෙයි අපිට කවදා මේක බඳවා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද මේ පද්ධතියේ තියෙන අර්බුදය නොදැන කරන වැඩක් නෙමෙයි මේක. අපි එක විශ්වවිද්‍යාලයක් ගත්තොත්, දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එක පීඨයක 2024 උසස් පෙළ කරපු ශිෂ්‍ය කණ්ඩායමේ පළවෙනි සතිය තමයි ගිය සතිය. එතකොට 2025 කොහොමද සැප්තැම්බර් බඳවා ගන්නේ? ඒ වගේ තමයි මේ පද්ධතියේම විශ්වවිද්‍යාලවල සිටිය යුතු ශිෂ්‍ය කණ්ඩායම්වලට වැඩි ප්‍රමාණයක් දැනටත් ඇතුළේ ඉන්නවා. ශිෂ්‍ය කණ්ඩායම් හතරක් ඉන්න ඕනේ තැන හයක් දක්වා ඉන්න තැන් තියෙනවා. එතකොට එහෙම තැනක 2025 ශිෂ්‍ය කණ්ඩායම කොහොමද සැප්තැම්බර් බඳවා ගන්නේ? ඒක නිසා අපි දැන් මේ වෙනකොට බලලා තියෙන කාරණය තමයි මේක තව මාස ගාණකට 2025 කණ්ඩායම බඳවා ගන්න බැහැ. ඒ වගේම දැන් 2026 උසස් පෙළත් අවසන්, එතකොට ඒ ශිෂ්‍ය කණ්ඩායමත් එකතු වෙනවා...

අපි දන්නවා උසස් පෙළ අවසන් කරලා තමන්ගේ දරුවා හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට ගෙනැල්ලා එතනින් එහාට මේ කටයුතු ඉක්මනින් අවසන් කරන්න දෙමාපියන් බලාපොරොත්තු වෙනවා. හැබැයි දැන් වෙලා තියෙන දේ තමයි උසස් පෙළ අවසන් කරලා වසර දෙකක් තුනක් එළියේ ඉන්න වෙලා තියෙනවා. දැන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය උඩ සමහරවිට මේක වසර හතරක් විතර විශ්වවිද්‍යාලවලට එන්නේ නැතුව ශිෂ්‍යයින්ට ගෙදරට වෙලා ඉන්න වෙන්න පුළුවන්. එතකොට ඒ අයගේ කාලය, එතකොට මේ කාලය තුළ විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වීමෙන් ඇතිවෙන තත්ත්වය මේක ඉතාම මේ රටේ ඉතාම බරපතල සමාජ අර්බුදයක්. ඉතින් ආණ්ඩුව මේක තේරුම් ගන්නේ නැති එක තමයි ප්‍රශ්නය. ඉතින් මේ තත්ත්වය UGC එක එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගන්න කිව්වට විශ්වවිද්‍යාලයට ගන්න විදිහක් නැහැ. ඒක තමයි දැන් අද දවසේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මේක සාකච්ඡා කළේ, මේ පහුගිය වසරවල තමන්ට දරාගන්න බැරි තරම් විශාල වැඩප්‍රමාණයක් කරලා තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ දක්වා මේ ශිෂ්‍ය කණ්ඩායම් හතර, පහ, හය තියාගෙන ආවේ. හැබැයි තවදුරටත් මේක කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු සූදානම් නැහැ."


 

More News..