brand logo
logo
මාලිමාවත් විසිදෙකටද?

මාලිමාවත් විසිදෙකටද?

24 August 2026


දෙකේ ඉලක්කම දකින විටත් හිසරදය හැදෙන තරමට දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවැනි සංශෝධනය ගැන ලියවී තිබේ. එහෙත් රටට හිසරදයක් වී ඇති විසිදෙක සුවකර ගැනීම වෙනුවෙන් කළ යුතු හැම වෙදකමක්ම කරන්නේද නැතුව බැරිය. එහිදී කළ යුතු එක දෙයක් වන්නේ විසිදෙක ඉතා අහිංසක ව්‍යායාමයක් බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය ප්‍රශ්න කිරීමය.


ආණ්ඩුව කියන්නේ විසිදෙක ගෙනෙන්නේ දැනට ගොඩ ගැහී ඇති මිලියනයකට වැඩි නඩු ඉක්මනින් අවසන් කිරීම සඳහා බවය. අවාසනාවකට රටේ නඩු ගොඩ ගැසී ඇති බව 2024 දී "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන විට ජාතික ජන බලවේගය දැන සිට නැත. ඊයේ පෙරේදා රටේ ඇති දැවෙන ප්‍රශ්න අතුරින් අංක එක ස්ථානයට එන්නේ ඒ බව හදිසියේ දැනගෙන ඔවුන් ක්‍රියාකාරී වී තිබේ.


ආණ්ඩුව විසිදෙකේ අවලස්සන වසා ගැනීමට හැඳ සිටින සුදු පිරුවටය ගැලවී යන්නේ මෙතැනදීය. 2028 වන විට විදේශ ණය ගෙවීම පිණිස ඇමරිකන් ඩොලර් බිලියන 14 ක් අවශ්‍යය. මේ අවස්ථාවේ ආණ්ඩුවේ ප්‍රමුඛතාව විය යුත්තේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම නොව ළඟ ළඟ එන ඒ ආර්ථික අර්බුදයට මුහුණ දීමය.


විදේශ ණය ගෙවීමේ ගැටලුවක් පැන නගින්නේ නැතැයි ආණ්ඩුව කියා සිටියේ පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පෙන්වා දුන් විටය. ඇත්ත. භාණ්ඩාගාරයේ ඇති අන්තිම ඩොලරයද සූරා ගත් විට විදේශ ණය ගෙවා ගත හැකි බව අපිදු පිළිගනිමු.


එහෙත් රටට මුදල් අවශ්‍ය වන්නේ විදේශ ණය ගෙවීමට පමණක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේ මුහුණ පෑ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත් තාවකාලික ආණ්ඩුවේ ප්‍රධානියා වූ රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ඒ කාරණයයි. බංකොලොත් භාවය ප්‍රකාශ කරන්නට සිද්ධවන තෙක්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවද අන්තිම ඩොලරය දක්වා විදේශ ණය ගෙව්වේය.


බිලියන 14 විදේශ ණය ගෙවීමෙන් පසුවද රට ගෙනයෑම පිණිස ආණ්ඩුවට මුදල් අවශ්‍යය. එසේ නොවූවහොත් 2022 රට මුහුණ පෑ අර්බුදයට තවත් අවුරුදු දෙකකින් අපට මුහුණපෑමට සිද්ධ වනු ඇත. එහෙයින් මේ අවස්ථාවේ ආණ්ඩුව ප්‍රමුඛතාව දිය යුත්තේ එයටය.


එසේවී තිබියදී ආණ්ඩුව ර⁣ටට ඇති වැදගත්ම ප්‍රශ්නය හැටියට උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සේවා දිගුව සලකා කටයුතු කිරීමම සැක කටයුතු නොවේද? ඒ සඳහා තමන්ගේ ධුරය අහිමිවීමේ අවදානම වුවද නොසලකා කටයුතු කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමේ ඇති වුවමනාව කුමක්ද? 2024 ඡන්ද කාලයේ ජාජබ දේශපාලන වේදිකාවේ කියූ සැම සියලු දෙයකම සත්‍යාසත්‍යතාව ප්‍රශ්න කෙරෙමින් තිබියදීත් විසිදෙකේ කන්‍යා භාවය ගැන ඔවුන් දිවුරා දෙන සහතික විශ්වාසයට ගත හැකිද?


විසිදෙකෙන් අධිකරණයේ ස්වාධීනත්වයට වන හානිය ගැන එහි විවේචකයන් කිසිවක් කියන්නේ නැතැයි ආණ්ඩුව චෝදනා කරයි. අධිකරණයේ ස්වාධීනත්වය නැතිවන්නේ ආණ්ඩුවට වුවමනා දේ ඉෂ්ට සිද්ධවීමෙන් පසුවවීම වෙනම කතාවකි. එහෙත් මේ වන විටත් අධිකරණයේ ස්වාධීනත්වයේ දැලිකුණු ගෑවෙන්නට පටන්ගෙන ඇති බව ආණ්ඩුවට නොපෙනේ නම් ඒ පුදුමයකි.


පසුගියදා විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විනිශ්චයකාරවරයකුගේ උප්පැන්න සහතිකය ගැන ප්‍රශ්න කිරීම මීට හොඳම උදාහරණයකි. එමෙන්ම සමාජ මාධ්‍යවල විනිශ්චයකාරවරයකුගේ දරුවකු දේපොළ උපයාගත් ආකාරය පිළිබඳවද චෝදනා කෙරී තිබුණේය. මෙසේ ටිකින් ටික වක්කඩ කැඩෙන්නට පටන්ගෙන තිබේ.


ආණ්ඩුව විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම ගැන ඉදිරිපත් කළ අනෙක් නිදහසට කාරණය ගැනද මෙහිලා සඳහන් නොකර බැරිය. ඒ දැනට ඇසීගෙන යන නඩු කටයුත්තක් විනිශ්චයකාරවරයා විශ්‍රාම ගිය විට මුල සිට ඇසීමට සිදුවන බවය. එහෙත් දැන් සේවා කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට නියමිත විනිශ්චයකාරවරුන් ඒ අවුරුදු දෙකද අවසානයේ විසඳමින් සිටින නඩු කටයුතුවලට සිදුවන්නේ කුමක්දැයි කියා ඔවුන් අපට කියන්නේ නැත.


අපට ජාජබ නොහොත් මාලිමාවෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්ද නොඅසා මේ ලියවිල්ල නිම කරන්නට නොහැකිය. ජාජබ යනු සමාජවාදය, විප්ලවය හා රෝහණ විජේවීර යන නම් සමග බැඳුණු ජනතා විමුක්ති පෙරමුණ බඳු දේශපාලන බලවේගයක් නොවේ. එය එ.ජා.ප, ස.ජ.බ, ශ්‍රී.ල.නි.ප හා පොදු ජන පෙරමුණෙන් බිඳී ගිය විකල්ප අදහස් දරන ලිබරල් කණ්ඩායමකි.


අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සලකනු ලබන්නේ ඒ කණ්ඩායමේ නායිකාව හැටියටය. ජාජබ නායකත්ව මණ්ඩලයේද සාමාජිකයකු වූ නීතිඥ ලාල් විජේනායක වැටෙන්නේද ඒ ගොඩටය. 1982 සිට 2020 දක්වා තරග කළ එකද ඡන්දයකදීවත් ලක්ෂ තුනහතරකට වඩා ලබාගන්නට නොහැකිවූ ජවිපෙට ජනාධිපතිවරයකු හා තුනෙන් දෙකේ බලයක් ඇති පාර්ලිමේන්තුවක් බිහි කරගන්නට හැකි වූයේ ඒ පිරිසේ ශක්තියෙනි.


අපේ ප්‍රශ්නය වන්නේ ජාජබ ගොඩ නැගූ ලිබරල් කණ්ඩායම විසිදෙක ගැන දරන මතය කුමක්ද යන්නයි.(ලාල් විජේනායක හැරුණු විට) අග්‍රාමාත්‍යවරිය ඇතුළු ඒ කණ්ඩායම විසිදෙක සම්බන්ධයෙන් නිහඬතාව රකින්නේ මන්දැයි යන්නද අපට ගැටලුවකි. දැන් ජාජබ ලිබරල් කොටස්වල හඬද ජවිපෙ හඬට යටපත් වී ඇද්දැයි දැනගැනීම දේශපාලන වශයෙන් රටට මෙහිදී ඉතා වැදගත්ය.

 

More News..