brand logo
logo
ජාතික මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිගේ සුභපැතුම් පණිවුඩය

ජාතික මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිගේ සුභපැතුම් පණිවුඩය

26 August 2026

විවිධ ජාතීන් සහ ආගමිකයන් වෙසෙන රටක් ලෙස එකිනෙකා කෙරෙහි සංවේදී වෙමින් සාමූහිකව නැගීසිටීම සඳහා මුහම්මද් නබිතුමාගේ ආදර්ශයන් ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.


ජාතික මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කර තිබේ.


සාමය, සමානාත්මතාව, දයාව සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ උදාර පණිවුඩයක් මුහම්මද් නබිතුමාණන් සමස්ත ලෝකයා වෙත දේශනා කළ බව ඇය පෙන්වා දෙයි.


වර්තමාන ගෝලීය සමාජය දේශපාලන, ආර්ථික හා මානුෂීය අර්බුද රැසකට මුහුණ දී සිටින අතර, විශේෂයෙන් දරුණු යුද ගැටුම් හේතුවෙන් අහිංසක ජනතාව ජීවිත අහිමි කරගන්නා සහ පීඩාවට පත්වන පසුබිමක නබිතුමාගේ දර්ශනය වෙන කවරදාටත් වඩා වර්තමානයට වැදගත් වන බව ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කරයි.


නබිතුමාගේ ජීවිතයෙන් වත්මන් සමාජයට මෙන්ම ශ්‍රී ලංකාවට ද ගත හැකි සුවිශේෂී ආදර්ශ ලෙස සාධාරණත්වය, ආගමික ඉවසීම සහ පොදු ජන සුභසිද්ධිය වෙනුවෙන් කැපවීම පෙන්වා දී තිබේ.


එමෙන්ම ගෝලීය යුද වාතාවරණයන්ගෙන් මිදී සාමය රජයන ලෝකයක් බිහි වේවායි ප්‍රාර්ථනා කරන බවත්, යුද්ධයේ කෲරත්වයෙන් හා පීඩාවෙන් බැටකන, අවතැන් වූ සහ වේදනාවට පත් වූ සියලු ජනතාවට සාමය උදාවේවායි ප්‍රාර්ථනා කරන බවත් ඇය සඳහන් කරයි.


මෙවර ජාතික මිලාද්-උන්-නබි සැමරුම ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මීගමුව පෙරියමුල්ල අල් හිලාල් ජාතික පාසල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.


එම ජාතික සැමරුම ශ්‍රී ලංකාවේ විවිධත්වයේ සුන්දරත්වය අගය කරමින් ආගමික සහජීවනය, එකමුතුකම සහ සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කදිම අවස්ථාවක් වනු ඇතැයි ද අග්‍රාමාත්‍යතුමිය විශ්වාසය පළ කරයි.


මානව දයාවෙන් යුතු ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සියලු මුස්ලිම් බැතිමතුන්ට සාමය, සෞභාග්‍යය, සහෝදරත්වය සහ සතුට සපිරි සුභ මිලාද්-උන්-නබි උත්සවයක් වේවායි ද අග්‍රාමාත්‍යතුමිය සිය සුභපැතුම් පණිවුඩයෙන් ප්‍රාර්ථනා කර තිබේ.

 

More News..