විදෙස්ගත ශ්රමිකයන් වෙනුවෙන් ජනපතිගෙන් උපදෙස්
28 October 2026
විදෙස්ගත ශ්රමිකයන් වෙනුවෙන් ජනපතිගෙන් උපදෙස්
28 October 2026
රටට අවශ්ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්රහයන් කිසිදු පැකිළීමකින් තොරව සැපයීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදි අද (28) පස්වරුවේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදෙස්ගත ශ්රමිකයින් වෙනුවෙන් මේ වන විට ක්රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන්වල ක්රියාකාරීත්වය සහ ප්රගතිය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
එම ශ්රමිකයන් වෙනුවෙන් ක්රියාත්මක නිවාස යෝජනා ක්රමය ඇතුළු ණය පහසුකම් ලබාදීමේදී මතුව ඇති ගැටලු මෙන්ම තීරුබදු රහිත (Duty Free) පහසුකම් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
විදෙස්ගත ශ්රී ලාංකිකයන් පිළිබඳ නිවැරදි සහ යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එමඟින් ඔවුන් වෙනුවෙන් ක්රියාත්මක සුබසාධන වැඩසටහන් වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂමව ක්රියාත්මක කිරීමට හැකි වන බවද පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත්, කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු, ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ ලේකම් අරුණි රණරාජා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්රමසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

