හම්බන්තොට වරාය හරහා මෙහෙයවූ වාහන සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි
29 November 2026
හම්බන්තොට වරාය හරහා මෙහෙයවූ වාහන සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි
29 November 2026
හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා මෙතෙක් මෙහෙයවා ඇති සමස්ත වාහන සංඛ්‍යාව මිලියන 5ක සීමාවට ළඟා වී ඇති බව එම වරාය පාලනාධිකාරිය පවසයි.
වරායේ රථවාහන ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම් ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ජයග්‍රහණය අත්කරගෙන ඇති බව ද එම පාලනාධිකාරිය සඳහන් කරයි.
මේ අතර, වාහන මෙහෙයුම් සහ ගබඩා කිරීමේ ධාරිතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා විශේෂිත රථවාහන නෞකාගත කිරීමේ හා ගොඩබෑමේ නැව් නැංගුරම් ස්ථානයක් සහ නව රථවාහන අංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
එම නව යටිතල පහසුකම් හරහා වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම ජාත්‍යන්තර රථවාහන ප්‍රවාහන නෞකා සමාගම්වල වැඩිවන අවශ්‍යතා සපුරාලීමට ද අපේක්ෂා කෙරේ.
2025 වසරේදී හම්බන්තොට වරාය හරහා වාහන 726,153ක් මෙහෙයවා ඇති අතර, 2024 වසරේදී මෙහෙයවා ඇති වාහන සංඛ්‍යාව 579,362කි.
ඒ අනුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී වාහන මෙහෙයුම් සංඛ්‍යාව 146,791කින් හෙවත් සියයට 25.3කින් ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, 2026 ජූලි මාසයේදී පමණක් වාහන 104,620ක් මෙහෙයවමින් වරායේ එක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම වාහන මෙහෙයුම් සංඛ්‍යාව ද සනිටුහන් කර ඇති බව වරාය පාලනාධිකාරිය සඳහන් කරයි.
මේ අතර, වරායේ වාහන මෙහෙයුම් ධාරිතාව පුළුල් කිරීමේ දෙවැනි අදියරේ පළමු පියවර ලෙස හෙක්ටයාර හයක භූමි ප්‍රමාණයකින් යුත් නව රථවාහන නෞකාගත කිරීමේ හා ගොඩබෑමේ අංගණයක් පසුගිය මාර්තු මාසයේදී මෙහෙයුම් සඳහා එක්කර තිබේ.
තවද, 2026 මැයි මාසයේ සිට CASCADIA සහ UGR සමාගම් විසින් ආරම්භ කළ නව රථවාහන ප්‍රවාහන සේවා හේතුවෙන් හම්බන්තොට වරායේ ජාත්‍යන්තර නෞකා ප්‍රවාහන ජාලය ද තවදුරටත් පුළුල් වී ඇත.
2017 වසරේ දෙසැම්බර් මාසයේදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය යටතේ මෙහෙයුම් ආරම්භ කළ අවස්ථාවේදී වාර්ෂිකව වාහන 100,000ක පමණ ප්‍රමාණයක් මෙහෙයවා තිබේ.
එතැන් සිට වරායේ රථවාහන මෙහෙයුම් ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව ද වරාය පාලනාධිකාරිය පෙන්වා දෙයි.
ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව අතර සිදුකෙරෙන ජාත්‍යන්තර රථවාහන ප්‍රවාහනයේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරාය තවදුරටත් සංවර්ධනය කිරීම අපේක්ෂාව බව ද එම පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.


