brand logo
logo
ඉන්දු-චීන දේශසීමා ගැටලුවලට විසඳුමක් ලබාගැනීමට අඛණ්ඩව සාකච්ඡා

ඉන්දු-චීන දේශසීමා ගැටලුවලට විසඳුමක් ලබාගැනීමට අඛණ්ඩව සාකච්ඡා

26 August 2026


ඉන්දියාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන දේශසීමා ගැටලුවලට සාධාරණ මෙන්ම දෙපාර්ශ්වයටම පිළිගත හැකි විසඳුමක් ලබාගැනීම සඳහා අඛණ්ඩව සාකච්ඡා කිරීමට දෙරට එකඟ වී තිබේ.


මේ පිළිබඳ එකඟතාවකට පැමිණ ඇත්තේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා සහ චීන විදේශ අමාත්‍යවරයා අතර අඟහරුවාදා බෙයිජිං නුවරදී පැවැති විශේෂ හමුවේදීය.


දෙරටේ විශේෂ නියෝජිතයන් අතර පැවැති මෙම හමුව ඉතා මිත්‍රශීලී, විවෘත මෙන්ම ගැඹුරු මට්ටමකින් පැවැති බව චීන පාර්ශ්වය සඳහන් කරයි.


ඉන්දීය නිල වාර්තාවලට අනුව, 2024 ඔක්තෝබර් මාසයේ කසාන් හිදී සහ 2025 අගෝස්තු මාසයේ ටියැන්ජින් හිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් යන නායකයන් අතර ඇති වූ සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සමාලෝචනය කෙරිණි.


එමෙන්ම, දේශසීමා වෙළඳ කටයුතු ඇතුළුව දෙරට වැසියන් අතර සම්බන්ධතා සහ දේශසීමා හරහා සිදුවන හුවමාරු වීම් යළි සාමාන්‍ය තත්ත්වයට පත්වීම පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී සිය ප්‍රසාදය පළ කර ඇත.


දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල අඛණ්ඩ ඉදිරිගමන සඳහා දේශසීමා ප්‍රදේශවල සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව ඉන්දීය පාර්ශ්වය පෙන්වා දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.


එසේම, දේශසීමා සීමා නීර්ණය පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාම, දේශසීමා පාලනය හා කළමනාකරණය ශක්තිමත් කිරීම, පවතින යාන්ත්‍රණයන් තවදුරටත් වැඩිදියුණු කිරීම සහ දේශසීමා හරහා සහයෝගීතාව වර්ධනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ගැන මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ බව චීන වාර්තාවල සඳහන් වේ.

 

More News..