ශ්රී ලංකා මැද පෙළ සටනට ඵල රහිත නිමාවක්
19 October 2026
ශ්රී ලංකා මැද පෙළ සටනට ඵල රහිත නිමාවක්
19 October 2026
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ රාවල්පිණ්ඩිහි පැවැති ආරම්භක තරගයේදී සත්කාරක පාකිස්තානය, ශ්රී ලංකාව පරදා පරදා ලකුණු 37ක ජයක් හිමිකර ගැනීමට ඊයේ (18 වැනිදා) සමත් විය. මෙම තරගයේදී ශ්රී ලංකා මැද පෙළ පිතිකරුවන් අගනා සබඳතා දියත් කළ ද, එය ජයග්රහණයට ප්රමාණවත් නොවීය.
සල්මාන් අලී අගාගේ විශිෂ්ට ශතකය හේතුවෙන් හිමි වූ ලකුණු 306ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම ආරම්භයේ සිට මන්දගාමී පිතිකරණයක නිරත වූ අතර කලකට පසු එක්දින කණ්ඩායමට පැමිණි ආරම්භක පිතිකරු අවිශ්ක ප්රනාන්දු සිය වගකීම අමතක කරමින් ලකුණු 5ක් ලබා සිටියදී උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. අනතුරුව කමිඳු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස්, මන්දගාමී පිතිහරඹයක නියැළෙමින් ලකුණු සංඛ්යාව ඉදිරියට ගෙන ආ අතර කුසල්ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි පවන් රත්නායක, කමිඳු සමග අගනා සබඳතාවක් ගොඩනගන්නට විය.
කමිඳු ලකුණු 44ක් ලබා සිටියදී දැවී යාමෙන් අනතුරුව ජනිත් ලියනගේ සමග එක්වූ පවන්, මැද පෙළ ශක්තිය පාකිස්තානයට පෙන්වමින් පන්දුයවන්නන්ට ධනාත්මකව මුහුණ දෙන්නට විය. ඔවුන් ලකුණු 119ක සබඳතාවක් ගොඩනගා පවන් ලකුණු 79දී දැවී යාමෙන් අනතුරුව කලකට පසු එක්දින කණ්ඩායමට එක්වූ දසුන් ශානක වේගවත් ඉනිමක් දියත් කරමින් ජනිත්ට සහය වන්නට විය.එහෙත් ජනිත් ලකුණු 60ක් ලබා සිටියදී දැවී යාමත් සමග දසුන් ද ලකුණු 28ක් ලබා දැවීගිය අතර, ශ්රී ලංකා පිලට රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවි ලකුණු 268ක් පමණි.
පාකිස්තාන ඉනිමේ දී සල්මාන් අගාගේ ශතකයට අමතරව, බාබර් අසාම් ලකුණු 45ක් රැස් කළ අතර, ඊයේ එක්දින වරම් ලද සාද් බෙයිග් ලකුණු 39ක් ද, හසන් නවාස් ලකුණු 37ක ද රැස් කළහ. ශ්රී ලංකාව වෙනුවෙන් එශාන් මාලිංග කඩුලු 4ක් දවාගත්තේය. පළමු ඉනිමේදී ශ්රී ලංකාව අපේක්ෂිත පන්දුවාර වේගය පවත්වාගෙන යාමට අපොහොසත් වීම ද දක්නට ලැබුණි.

