brand logo
logo
ලාල් විජේනායක - ජාජබයේ සිටි 85 හැවිරිදි තරුණයා

ලාල් විජේනායක - ජාජබයේ සිටි 85 හැවිරිදි තරුණයා

02 November 2026


ප්‍රසිද්ධ පුද්ගලයෙකු මිය ගිය විට ඒ තැනැත්තා ගැන ලියන්නන් ඔහුගෙන්/ ඇයගෙන් ඇතිවූ හිස් තැන පිරවිය නොහැකි යැයි ලිවීම සුලබව දකින්නට ලැබෙන්නකි. එහෙත් ලාල් විජේනායක සම්බන්ධයෙන් නම් එය ඇත්තමය. 1941දී ඉපදී තමා හැදුණු වැඩුණු පරම්පරාවේ වටිනාකම්ද තුරුළු කරගෙන වර්තමාන පරම්පරාව සමගද උරෙනුර ගැටී ජීවත් වූ, දේශපාලනයේදී සිය හෘදය සාක්ෂියට එකඟ නැති කිසිවක් නොකෙරූ ඔහු වැනි දේශපාලනඥයන් අප අතරේ දුලබ හෙයිනි.


මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ලාල් විජේනායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (B.Sc) උපාධියක් ලැබුවේ, එහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හැටියටද කටයුතු කළේය. අනතුරුව ඔහු නීති විද්‍යාලයට ඇතුළු වී අධිනීතිඥයෙකු හැටියට සුදුසුකම් ලැබුවේය. මුලදී රාජනීතිඥ එස්. නඩේසන්ගේ කනිෂ්ඨයෙකු හැටියට කටයුතු කළ ඔහු සිය ජ්‍යෙෂ්ඨයා සමග 1971 කැරැල්ලේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.


විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිටියදීම එවකට සිය ස්වර්ණමය යුගය ගතකරමින් සිටි ලංකා සමසමාජ පක්ෂය හා එක්වූ ඔහු පසු කාලයකදී එහි මධ්‍යම කාරක සභාවේ හා දේශපාලන මණ්ඩලයේද සාමාජිකයෙකු විය. අවුරුදු හැටකට වැඩි කාලයක් වාමාංශිකයෙකු හැටියට කටයුතු කළද ඔහු සිය ප්‍රතිවාදී කඳවුරේ ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක හා ඇම්.ඩී. බණ්ඩා වැන්නන් අගය කිරීමට තරම් සමබර මනසක් තිබූවෙකු බව ඔහු ළඟින් ඇසුරු කළ තැනැත්තෝ දනිති. එසේ ගත් කළ ඔහු හැබෑම ජාතික නායකයෙකි.


මහනුවර නගරය සමග බරපතළ බැඳීමක් තිබූ ලාල් එහි සෑම තරාතිරමකම මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර වූ සම්මානනීය පුද්ගලයෙකු විය. එතෙකුදු ගෝත්‍රික මනසක් නොතිබූ හේ සෑමවිටම අධිරාජ්‍යවාදයට, නව ලිබරල්වාදයට හා සුළු ජාතීන්ට වෙනස්කම් කිරීමට විරුද්ධව සිට ගත්තේය.


සමාජයේ ඉහළ පෙළේ පිළිගැනීමක් තිබුණද ඔහු හැමවිටම කටයුතු කළේ සාමාන්‍ය මිනිසුන්ගේ තත්ත්වය උසස් කිරීම වෙනුවෙනි. ලෝක බැංකු උපදෙස් මත මහවැලි අධිකාරිය ජල බද්දක් අයකිරීමට සූදානම් වූ අවස්ථාවේ ගොවීන් ඉන් ගලවා ගත්තේ ලාල්ගේ මැදිහත් වීම නිසාය. 1977න් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම තමන් ලබාදුන් ඉඩම්වලින් පදිංචිකරුවන් ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේද ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ ලාල්ය.


සමසමාජයද කොටස්කරුවෙකු වූ 2010-15 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ ඔහු සිය දීර්ඝකාලීන දේශපාලන සබඳතාවය අතහැර නිවැරදි පැත්තේ හිටගත්තේය. 1972 දී ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරයෙකු වුවත් 1987-89 වකවානුවේ ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවේ සිටි ලාල් අනතුරුව ඒ මතකයන්ගේ එල්බ නොහිඳ ජාතික ජන බලවේගයට එක්විය. සමසමාජ නායකත්වයෙන් නික්මුණු ඔහු ජා.ජ.බ. මෙහෙයුම් සභාවේ හා විධායක සභාවේ සාමාජිකයෙකු හැටියට පත් කෙරුණේය.


ලාල්ට දේශපාලන පක්ෂ සාමාජිකයෙකු ලෙස ඉතා දීර්ඝ කාලයක් කටයුතු කිරීමට හැකිවූයේ ඔහුගේ දැවැන්ත පෞරුෂය නිසා බව රහසක් නොවේ. දේශපාලන පක්ෂ ස්වභාවයෙන්ම විවේචනයට ඉඩ ඇති තැන් නොවන හෙයිනි. සමසමාජයේ කටයුතු කරද්දී ඇතැම් අවස්ථාවල ඔහුට පක්ෂ මතය පිළිබඳ දැඩි විවේචන තිබූ අතර අවසානයේදී ඔහු ඉන් ඉවත්වන තැනටම කරුණු කාරණා සිද්ද වුණේ එලෙසිනි.


ජාජබයට එකතුවීමෙන් පසුවද ඔහු සිය හෘද සාක්ෂියට විරුද්ධව කටයුතු කිරීමට සූදානම් වූයේ නැත. විධායක ජනාධිපතිවරයෙකු සමග පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුව සමග ඔහු තනිවම හැප්පුණේය. ඒ ආණ්ඩුව ඉදිරිපත් කළ සියලු නිදහසට කාරණා ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනා 22 වැනි සංශෝධනයට ප්‍රසිද්ධියේ විරුද්ධ වෙමිනි.


ජාජබයේ ප්‍රමුඛ කණ්ඩායම වන ජනතා විමුක්ති පෙරමුණ එබඳු විවේචන දෙස උපේක්ෂාවෙන් බලන කණ්ඩායමක් නොවන බව එහි ඉතිහාසය දන්නෝ දනිති. එහෙත් ජාජබ ලාල් විජේනායකට පිටවීමේ දොරටුව පෙන්වූයේ නැත. ලාල් ඒ දොරටුවට වඩා ලොකු විය.


අනතුරුවද ලාල් සිය හුරතලෙකු කරගැනීමට පක්ෂයට නොහැකි විය. ජවිපෙ 2024 දක්වා කළ ⁣දේශපාලනයට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධව යමින් රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත (PSTB) හා සංවිධානාත්මක අපරාධ පනත (OCB) වැනි මර්දනකාරි නීති ගෙනඑන්නට තනන මේ මොහොතේද ලාල් ඊට විරුද්ධව නැගී සිටියේය. එනයින් ඔහු පෙන්නුම් කළේ 85 හැවිරිදි තමා ජාජබ නායකත්වයේ සිටින එකම තරුණයා බවයි.


මේ තීරුව ආරම්භ කරමින් අප ලිව්වේ ලාල් විජේනායකගෙන් ඇතිවූ හිස්තැන හැබෑවටම පිරවීමට අපහසු බවය. ඒ අතරේ වැඩිදුරටත් අදහස් දක්වන සමහරු ඔහු මියගියේ ජීවත්විය යුතුම මොහොතේ බව කියති. ඇත්ත, ආණ්ඩුව ගෙනෙන මර්දනකාරී පනත්වලට එරෙහිව කට අරින්නට හයියක් තිබූ ආණ්ඩුවට සම්බන්ධ එකම පුරුෂයාද මේ අවස්ථාවේම අහිමිවීම රටට ලොකු පාඩුවකි.

 

More News..