brand logo
logo
ලෝක ප්‍රසිද්ධ 'Green Boots' අභිරහස එළියට

ලෝක ප්‍රසිද්ධ 'Green Boots' අභිරහස එළියට

09 August 2026


එවරස් කඳු මුදුනේ හිම අතර වසර 30ක් පුරා ගල්වී සිටි "ග්‍රීන් බූට්ස්" (Green Boots) නමින් ලෝක ප්‍රසිද්ධ වූ මළ සිරුර මව්බිමට ගෙන ඒම සඳහා ඉන්දියාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.


1996 වසරේදී එවරස්ට් තරණය කිරීමේදී මියගිය ඉන්දියානු කඳු නගින්නෙකුගේ ලා කොළ පැහැති කඳු නගින සපත්තු යුගළක් හේතුවෙන් මෙම සිරුර ලෝකයේ ප්‍රසිද්ධියට පත් විය.


එදා සිට ලෝකයේ උසම කඳු මුදුනට යන බොහෝ කඳු නගින්නන්ට මෙම සිරුර දැකගත හැකි විය. 


1996 ඛේදවාචකය සහ "ග්‍රීන් බූට්ස්" රහස ඉන්දීය-ටිබෙට් දේශසීමා පොලීසියේ ලාන්ස් නායකවරයෙකු වූ 48 හැදි දෝර්ජේ මෝරුප් , 1996 වසරේදී ඓතිහාසික ඉන්දීය කණ්ඩායමක් සමඟ එවරස්ට් තරණය කිරීමට එක්විය.


බහුතරයක් කඳු නගින්නන් නේපාලය හරහා ගියද, මොවුන් ටිබෙටය පැත්තෙන් කන්ද නැගීමට උත්සාහ කළ තිබුණි.


දරුණු හිම කුණාටුවකට මුහුණ දෙමින් ඔවුන් කඳු මුදුනට ළඟා වුවද, පහළට බසිමින් සිටියදී ඇති වූ දරුණු කැලඹිල්ලක් නිසා මෝරුප් ඇතුළු කඳු නගින්නන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.


එදා සිට මීටර් 8,500ක පමණ උන්නතාංශයක, හිම යට සැඟවී ගිය මෙම සිරුර දිගු කලක් තිස්සේ වෙනත් කඳු නගින්නෙකුගේ යැයි සැලකුණද, මෝරුප්ගේ ඇඳුම් සහ කඳු නැගීමේ උපකරණ පරීක්ෂා කිරීමෙන් පසු බලධාරීන් තහවුරු කර ඇත්තේ එය දෝර්ජේ මෝරුප්ගේ සිරුර බවය.


අවදානම් සහගත සහ මිල අධික මළ සිරුරු ගොඩගැනීමේ මෙහෙයුමක් මීටර් 8,000කට වඩා වැඩි උසකින් යුත්, උෂ්ණත්වය සෙල්සියස් අංශක -40 දක්වා පහළ වැටෙන සහ ඔක්සිජන් අල්ප "මරණ කලාපයෙන්" (Death Zone) මළ සිරුරක් රැගෙන ඒම අතිශය දුෂ්කර හා අවදානම් කටයුත්තකි.


චීන දේශසීමාව දෙසින් ගුවන් හමුදා ආධාර ලබාගැනීම පහසු නොවන බැවින්, මෙම මෙහෙයුම සඳහා ඉන්දීය-ටිබෙට් දේශසීමා පොලිසිය විසින් ඉහළ උන්නතාංශයක මෙහෙයුම් කළ හැකි දක්ෂ කණ්ඩායම් යොදවා ඇත.


 මෙහි මුළු වියදම ඉන්දීය රජය විසින් දරණ අතර, DNA පරීක්ෂණ මඟින් අනන්‍යතාව සම්පූර්ණයෙන් තහවුරු කර ගැනීමෙන් පසු සිරුර ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත ලබාදීමට නියමිතය.


වසර 30ක් පුරා තම සැමියා යළි එනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි මෝරුප්ගේ බිරිඳට මේ වනවිට වයස අවුරුදු 75 පමණ වේ.


ඇය කඳුළු සලමින් පවසා ඇත්තේ, "සමහර දවස්වල මම නිදාගන්න යන්න කලින් හිතනවා, අද රෑට කවුරුහරි දොරට තට්ටු කරයි කියලා. මම දොර ඇහැරලා බලද්දී ඔහු එතන සිටීවි කියලා මම හිතනවා... ඔහු ගෙදර ආවම මම අහනවා, 'ඔබ මේ හැම අවුරුද්දකම කොතනද සිටියේ?' කියලා." යනුවෙනි.


මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, මෝරුප්ගේ අවසන් කටයුතු සිදු කිරීමට ඔහුගේ පවුලේ අය සැලසුම් කර ඇත. 


තවද, ඔහුගේ නම සදාකාලිකව ඉතිහාසයට එක් කළ ඒ "ලා කොළ පැහැති බූට් සපත්තු යුගළ" තම පවුලේ උරුමයක් ලෙස සුරක්ෂිතව තබා ගැනීමටද ඔවුන් බලාපොරොත්තු වේ.

 

 

More News..