මුහුණුපොතෙන් තරුණියන් 06 දෙනකුට ලිංගික අතවර
01 April 2024 | ඉෂාර රත්නකාර
මුහුණුපොතෙන් තරුණියන් 06 දෙනකුට ලිංගික අතවර
01 April 2024 | ඉෂාර රත්නකාර
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ තරුණියන් 06 දෙනකුට විවිධ අයුරින් කර ඇතැයි කියන ලිංගික අතවරයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, අධිකරණයට අද (01 වැනිදා) දන්වා සිටියේය.
අදාළ ලිංගික අතරවයන්ට ලක්වූ තරුණියන් විසින් වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන ලද පැමිණි 06 ක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින්, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා එලෙස දන්වා සිටියාය.
මුහුණුපොතේ ව්‍යාජ ගිණුමක් සාදා ලිංගික අතවර සිදු කරන ලදැයි දෙනිපිටිය පදිංචි 24 හැවිරිදි තරුණියක් එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, මුහුණුපොත යොදා ගනිමින් එහි තිබූ ඡායාරූප, නිරුවත් ඡායාරූප ලෙස සකසා සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් ලිංගික අතවර සිදු කරන ලදැයි ගල්කිස්සේ තරුණියක් පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.
තම ඡායාරූප සහ දුරකථන අංකයන්, කාන්තාවන් මුදලට විකුණන මුහුණු පොතෙහි ගිණුමක පල කර ලිංගික අතවර සිදුකරන ලදැයි නවගමුව පදිංචි 20 හැවිරිදි තරුණියක් තවත් පැමිණිල්ලක් කර තිබූ අතර, නාඳුනන පුද්ගලයකු විසින් අසභ්‍ය වීඩියෝ දර්ශන තමාගේ ජංගම දුරකථනය වෙත වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ යොමු කරමින් ලිංගික අතවර සිදු කරන ලදැයි බලබෝව ප්‍රදේශයේ තරුණියක් විසින් පැමිණිලි කර තිබුණි.
නාඳුනන පුද්ගලයකු විසින් අපහාස ලෙස දුරකථන ඇමතුම් හා කෙටි පණිවුඩ යොමු කරමින් බැණ තර්ජනය කර ලිංගික අතවර සිදුකරන ලදැයි දන්තුරේ පදිංචි තරුණියක් විසින් තවත් පැමිණිල්ලක් කර තිබූ අතර, ප්‍රේම සබඳතාවයක් පැවැත්වූ අයකු විසින් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් මහරගම පදිංචි තරුණියක් විසින් තවත් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළේය.

