brand logo
logo
 විෂාදයෙන් පෙළෙන ගුරු සිසුන්ගේ වර්ධනයක්

විෂාදයෙන් පෙළෙන ගුරු සිසුන්ගේ වර්ධනයක්

10 May 2025 | නිලන්ත මදුරාවල


ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල විෂාද තත්ත්වයන්ගෙන් පෙළෙන ගුරු සිසුන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ඒවායේ කථිකාචාර්යවරු පවසති. මෙවැනි තත්ත්වයක් පවතින්නේ වුව එම සිසුන්ට උපදේශන සේවා පවත්වාගෙන යෑමට පීඨයන්හි නීතිමය විධිවිධාන නොමැතිවීම බරපතළ බාධාවක්ව පවතින බවත් ඔවුහු සඳහන් කරති.


වසරකට හාරදහසක පමණ සිසුන් සංඛ්‍යාවක් පීඨවලට ඇතුළත් වන නමුත් එම පීඨවල උපදේශන සේවා පවත්වාගෙන යෑමේ ඒකකයක් පිහිටුවා නොමැත.


පීඨවලට ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණවල දී හඳුනා ගත හැකි මෙවැනි සිසුන් ඉවත් කිරීමේ හෝ ක්‍රමවේදයක් නොමැති බවත් ඇතැම් අවස්ථාවල විෂාද තත්ත්වයන් මත ම සිසුන් ඇතුළත්කර ගැනීමට සිදුවන අවස්ථා පවතින බවත් කථිකාචාර්යවරු ප්‍රකාශ කරති. තුන් වසරකින් පසුව පුුහුණු ගුරුවරුන් ලෙස පාසල් පද්ධතියට එක්වන මෙම සිසුන්ට පවතින මෙම විෂාද තත්ත්වයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගවලට අදාළව දැනුවත් කිරීමේ චක්‍රලේඛයක් හෝ නිකුත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.


උපදේශනය විද්‍යා පීඨවල ප්‍රධාන විෂයයක් වන අතර ඒ සඳහා සියලු පීඨවල කථිකාචාර්යවරු පවා සිටිති. එහෙත් විෂාද තත්ත්වයක සිටින සිසුවකු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග හෝ එම සිසුවාට උපදේශන කටයුතු කිරීමට වෙනම ස්ථානයක් හෝ පීඨවල නොමැති වීම බරපතළ අඩුවක් වී තිබේ.


මින් පෙර මෙන් නොව මේ වනවිට පාසල් දරුවන් ද මානසික පීඩනයන් හේතුවෙන් සියදිවි නසා ගැනීමට පෙලඹී සිටින හෙයින් එවන් තත්ත්වයන්ට පාසල්වලදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පීඨවල ගුරු සිසුන් දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් නොමැති බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මිරිහාන පැවසීය. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කළ යුතු යැයි ද ඒ මහතා කීවේය.

 

More News..