brand logo
logo
රාජ්‍ය බැංකුවක රු.කෝටි 13ක් වංචා කළ නිලධාරියාට වසර 15ක සිරදඬුවම්

රාජ්‍ය බැංකුවක රු.කෝටි 13ක් වංචා කළ නිලධාරියාට වසර 15ක සිරදඬුවම්

09 October 2026


මෙරට ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක ප්‍රධාන මුදල් අයකැමි ලෙස සේවය කරමින් බැංකුවේ රුපියල් කෝටි 13කට අධික මුදලක් සිය පෞද්ගලික ගිණුමකට බැරකොට සාවද්‍ය පරිහරණය කළ තරුණ නිලධාරියෙකුට හෝමාගම මහාධිකරණය අද (09) සිරදඬුවම් නියම කළේය.


ඒ වසර 35ක සිරදඬුවම වසර 15කින් ගෙවී යන ලෙසය.


මෙරට ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක ප්‍රධාන මුදල් අයකැමි ලෙස සේවය කළ වයස අවුරුදු 31ක තරුණයෙක් එම බැංකුවෙන් රුපියල් කෝටි 13කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබුණේ ඉකුත් වසරේ මැයි මාසයේදීය.


ඒ අනුව කෙටි කලක් තුළ ඉතා සංකීර්ණ සාක්ෂි විමසීමකින් පසු හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මිය අද එහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කළාය.


චූදිතට එරෙහි පළමු අධිචෝදනාව වූයේ 2025 මැයි මාසයේදී මෙම රාජ්‍ය බැංකුවේ ප්‍රධාන මුදල් අයකැමි ලෙස සිටිමින් රුපියල් කෝටි 13කට අධික මුදලක් සිය පෞද්ගලික ගිණුමකට බැරකර ගැනීමය.


එම බැංකුවේම දෙහිවල ශාඛාවේ ඔහුගේ පෞද්ගලික ගිණුමකට රුපියල් කෝටි 11කට අධික මුදලක් බැර කරගැනීම දෙවන අධිචෝදනාව ලෙසත් තෙවැනි අධිචෝදනාව ලෙස බැංකුවේ ගිණුම්වල මුදල් මෘදුකාංග භාවිතයෙන් ව්‍යාජ මුදල් බවට පරිවර්තනය කිරීමත් සඳහන් වුණි.


මෙම අධිචෝදනා තුනටම තමා වරදකරු බවට චූදිත පිළිගැනීමෙන් පසු දඬුවම් තීරණය කිරීම සඳහා පළමුව නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.


“ප්‍රධාන මුදල් අයකැමි වුණාම ස්වාමිනි යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් ඉක්මවන තැන්පතු සඳහා අනිවායර්යෙන්ම දෙවන පෙළ නිලධාරියෙකුගෙන් අවසර ගන්න අවශ්‍යයි. මෙම වංචාව සිදුවූ දිනයේ සවස ගිණුම් පරීක්ෂා කරද්දි තමයි මෙම නඩුවේ සාක්ෂි ලබාදුන් බැංකුවේ කළමනාකාරිනියට හෙළි වෙන්නේ රුපියල් කෝටි 13කට අධික මුදලක් පෞද්ගලික ගිණුමකට බැරවෙලා කියලා. ඒ කියන්නේ මෙම චූදිත හැකියාව, නිපුණත්වය භාවිත කරලා තනතුරේ විශ්වාසය කඩකරලා දැන දැනම මෙම වංචාව සිදුකරලා”


අනතුරුව දඬුවම් ලිහිල් කරගැනීම සඳහා චූදිතයාගේ නීතීඥයන් පෙනී සිටියේය.


''ස්වාමිනි මෙම චූදිත වයස අවුරුදු 31ක ඉගෙන ගත්ත තරුණයෙක්. මේ වංචාව වෙන්න දින දෙකකට කලින් චූදිතට සමාජ මාධ්‍ය ඔස්සේ Link එකක් හරහා ආරාධනයක් එනවා මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් ආයෝජනය කරන්න කැමතියිද අහලා. ඔහු ඒ Link එකට යනවා. පොඩි මුදලක් දැම්මාම ලොකු මුදලක් ලැබෙනවා. ඔහු ඔහුගේ පෞද්ගලික විස්තර, සේවය කරන බැංකුව ආදි විස්තරත් මෙම ලින්ක් එක හරහා ලබාදෙනවා. මේ ක්‍රීඩාව දිගින් දිගටම කරද්දී ඔහු අයෝජනය කරන මුදල් නැවත ඔහුට ලැබෙන්නේ නැති වෙනවා. ඔහුට වැටහෙනවා මේක ස්කෑම් එකක් කියලා. ඒ අනුව මේ ප්‍රශ්නය සිදුවූ දින තම මුදල් නැවත ලබාදෙන ලෙස ඔහු මෙම ලින්ක් එක හරහා ඉල්ලා තිබෙනවා. එම මුදල් ලබාදීමට නම් රුපියල් දහතුන්කෝටි පනස් එක් ලක්ෂ දෙදහස් නවසිය පනස් හතයි ශත හැත්තෑ පහක මුදලක් තැන්පත් කරන ලෙසත් ඔහුට දැනුම්දී තිබෙනවා. ඒ අනුවයි ස්වාමිනි මේ චූදිත අදාළ මුදල බැංකුවෙන් ගන්නේ''


එහිදී චූදිතගේ නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ,


"ස්වාමිනි රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 13ක් පෞද්ගලික ගිණුමකට බැර කරන්න පුළුවන්ද බැංකුවේ ඉහළ නිලධාරින් නොදැනුවත්ව ?. විදෙස් ජාතිකයෙක් මේකේ මහමොළකරු ස්වාමිනි. අපේ රටේ තවත් රාජ්‍ය බැංකුවක ගිණුම් 11ක් විවෘත කරලා ඒ ගිණුම් විවෘත කළ අයට පොඩි කොමිස් මුදලකුත් දීලා. ඊටපස්සේ වංචාකළ මුදල් එම ගිණුම් 11ට බැරකරලා ඒවා ක්‍රිප්ටෝ කරලා සූක්ෂම ලෙස රටින් බැරකරලා ස්වාමිනි. චූදිත මුදල් අයකැමියෙක් විතරයි. පහළ තැනින්ම තමයි ජලය ගලාබැහැලා තියෙන්නේ මැතිනියනි. මේ වංචාකාරයින් ඔක්කොම අල්ලගෙන මුදල් ලබාගන්න ඕනේ ඒකයි දෙන්න ඕනේ ආදර්ශය. ඒ අනුව චූදිතගේ දඬුවම් ලිහිල් කරන මෙන් ඉල්ලා සිටිනවා."


ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකාබැලීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය.


''චූදිත නිරවශේෂ වශයෙන් වරද පිළිගැනීම සම්බන්ධයෙන් අධිකරණය මෙහිදී අවධානය යොමු කරනවා. ඒ වගේම මේක රටේ බොහෝ සාමාන්‍ය ජනතාව විශ්වාසයෙන් මුදල් තැන්පත් කරන බැංකුවක්. මෙමගින් සමාජයට ආදර්ශයක් පණිවිඩයක් ලබාදෙන්න ඕනේ. ඒ අනුව,


පළමු අධිචෝදනාවට චූදිතට බරපතළ වැඩ සහිත වසර 15ක්, දෙවන අධිචෝදනාව සඳහා බරපතළ වැඩ සහිත වසර 15ක් හා තුන්වන අධිචෝදනාව සඳහා වසර 5ක ලිහිල් වැඩ සහිතව සිරදඬුවම් නියම කරනවා. මෙම සිරදඬුවම් වසර 15කින් ගෙවී යා යුතු අතර දැනට සිරගතව සිටි කාලයට අදාළ දඬුවමින් ගෙවී යායුතු බවට නියෝග කරනවා''


"එසේම අදාළ රාජ්‍ය බැංකුවෙන් වංචාකළ බවට චෝදනා එල්ල වූ රුපියල් කෝටි 13කට අධික මුදල වන්දියක් ලෙස එම බැංකුවට නැවත ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් වසර 4ක සුළුවැඩ සහිත සිරදඬුවම් නියම කරන ලෙසටද මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළේය." 

 

More News..